කෑගල්ල රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාගැනීමෙන් පසු ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 10 වැනිදා මෙම පුද්ගලයා කෑගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
ඉන් අනතුරුව ඔහුට ප්‍රතිජීවක ඖෂධ 13ක් ලබා දී ඇති අතර 14 වන ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට රෝහල් බලධාරීන් සඳහන් කර තිබේ.
දැනට මතභේදයට තුඩු දී ඇති ප්‍රතිජීවක ඖෂධය මොහුට ලබා දී ඇති බව සදහන්.
කෙසේවෙතත් එදින ප්‍රතිජීවක ඖෂධ ලබාදුන් 19 වන රෝගියා මොහු බව ද වාර්තා වේ.
අදාළ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉතා දුර්වල මට්ටමක පැවතීම හේතුවෙන් මෙම අසාත්මිකතාව ඇති වීමට හැකියාව පැවති බව ද කෑගල්ල මූලික රෝහලේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි කෑගල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.