සිද්ධියේ සැකකරු බව හදුනාගෙන අවසන් !අත්අඩංගුවට ගන්නවා!
පැහැර ගැනීමක් නැහැ: විශ්වවිද්‍යාලය තුලදී අත්අඩංගුවට ගෙන නැහැ:විමර්ශන සඳහා රැගෙන ගියා පමණයි!
පොලීසිය:
පැහැර ගැනීමට ලක් වු බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කරණවෑමියා ඊයේ ( 20 ) රාත්‍රියේ හමු වී ඇති අතර ඔහු පේරාදෙණිය පොලිසියට ගෙන්වා ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.
පේරාදෙණිය පොලීසියේ උසස් නිළධාරියෙකු පැවැසුවේ මෙම කරණවෑමියා ගම්පොල අපරාධ සිද්ධියක ව්මර්ශණයක් සඳහා ගම්පොල පොලිසියට රැගෙන ගොස් තිබෙන බවත් , ඒ පිළිබඳව පේරාදෙණිය පොලිසිය දැනුවත් වී සිටි බවත්ය.ඔහුට කිසිදු පහර දීමක් හෝ අගතියක් සිදු කර නොමැති බවද විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව ඔහු මුදා හැරීමට ගම්පොළ පොලිසිය පියවර ගෙන ඇති බවද ඔහු පැවැසීය .
මෙම ආන්දෝලනාත්මක සිදු වීම සම්බන්ධයෙන් පොලිස් පොතෙන් ඇහෙන්නේ වෙනත්ම කතාවකි.
20 වැනිදා මධ්‍යම රාත්‍රිය පසුවී ගම්පොල පොලිස් වසමේ උනම්බුව ග්‍රාමයේ නිවසක සිය දරු දෙදෙනා සමඟ නිදා සිටි මවකට ඇයගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී අතවර කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් ඊයේ උදෑසන ගම්පොල පොලිසියට එම මවගෙන් පැමිණිල්ලක් ලැබී ඇත.
ගම්පොල පොලිසිය ඒ පිළිබඳව කඩිනමින් සිදු කළ විමර්ශන අනුව ඡායාරූප මගින් සැකකරුවෙකු හඳුනා ගන්නා අතර ඔහු ගම්පොල නගරයේ සැලුන් එකක සේවය කරන බව හඳුනා ගෙන ඇත .ඒ ඔස්සේ විමර්ශන සිදු කළ ගම්පොල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සැකකරු අදාල සැලුන් එකෙන් ඉවත් වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සැලුන් එකෙහි සිසුන්ගේ කොන්ඩා කැපීමේ නිරත වන බව සොයා ගෙන ඔහු සොයා ගොස් සැකකරු අපරාධය සිදු ස්ථානයේ ස්ථානීය පරීක්ෂාවකට ගෙන ගොස් තිබේ.
ඒ අදාල නිවසට ඇතුළු වී කාන්තාවට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයා ඔහුමද යන්න තහවුරු කර ගැනීම සඳහාය.
ගම්පොල පොලීසියේ ඉහළ නිළධාරියෙකු පැවැසුවේ කාන්තාවට අතවර කිරීමට තැත් කළ බලහත්කාරයෙන් ඇයගේ නිවසට ඇතුළු වූ පුද්ගලයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කරණවෑමියා ලෙස මේ වන විට තහවුරු කර ගෙන ඇති බවයි .සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරන බවද එම නිළධාරියා පැවැසීය.විශ්වවිද්‍යාලය තුලදී සැකකරු අත්අඩංගුවට නොගත් බවද ඔහු පිළිබඳව පුළුල් විමර්ශනයක් පමණක් සිදු කළ බවද එම නිළධාරියා වැඩිදුරටත් පැවැසීය .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියොජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසන්නේ විශ්වවිද්‍යාලයේ කුමන මට්ටමක හෝ කාර්‍යා මණ්ඩල සාමාජිකයෙකු ප්‍රකාශ ලබා ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරන්නේ නම් ඒ ගැන විශ්වවිද්‍යාලය දැනුම්වත් කිරීමට මුලින්ම පියවර ගත යුතු බවයි .එසේ නොකිරීම නීතියට පටහැනි බවද ඒ මහතා පැවැසීය .
සරත් සමරනායක














































