ගම්පහ ප්‍රදේශයේ දුම්රිය ස්ථානාධිපතිවරයෙක් සහ ප්‍රවේශපත්‍ර පරික්ෂා කරන නිලධාරියකු විසින් කාන්තාවකට ප්‍රසිද්ධියේ අවමන් කරමින් බැන වැදී ඇති අතර අදාළ කාන්තාව සිද්ධිය සම්බන්ධයෙන් එම නිලධාරීන් දෙදෙනාට එරෙහිව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
අදාළ කාන්තාව ඇයගේ 11 හැවිරිදි දරුවා ද කැටිව ගම්පහ දුම්රිය ස්ථානයේ සිට අදාළ දුම්රිය ස්ථානයෙන් බැස තිබේ. එහිදී දොරටුවේ සිටි දුම්රිය ප්‍රවේශපත්‍ර පරික්ෂා කරන නිලධාරියා ඇයගෙන් ප්‍රවේශ පත්‍රය ඉල්ලා ඇති අතර එම අවස්ථාවේදී ප්‍රවේශ පත්‍රය ලබාදීමට ප්‍රමාද වූ වූයේ යැයි චෝදනා කරමින් මගීන් ඉදිරියේ ප්‍රසිද්ධියේම එම කාන්තාවට අවමන් සහගත ලෙස බැණ වැදී ඇති බව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
එම පැමිණිල්ලේ අදාළ කාන්තාව වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරයාට පැමිණිලි කිරිමට ගිය අවස්ථාවේ දී ස්ථානාධිපතිවරයා ද එවැනිම ආකාරයට ප්‍රසිද්ධියේ බැන වැදී යළි දුම්රිය ස්ථානයට නොපැමිණෙන ලෙසට තර්ජනය කළ බවයි.
එමෙන්ම අදාළ කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් තමාගේ ඡායාරූප ලබාගත් බවත් , තමන් ද මෙම සිද්ධිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරගත් බවයි.














































