මව විදෙස්ගතවීම සහ පියා සිරගතවීම හේතුවෙන් අසරණභාවයට පත්ව සිටි කුරුණෑගල පහළ ගිරිබාව ප්‍රදේශයේ දරුවන් තිදෙනාගේ මව ඊයේ (10) අලුයම මෙරටට පැමිණියාය.
මෙම සිදුවීම පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ අවධානය යොමුවීමෙන් අනතුරුව එම කාන්තාව මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. අනතුරුව එම කාර්‍යංශයේ වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු විසින් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ කම්කරු සුබසාධන අංශයේ නිලධාරීන්ට මෙම සිදුවීම පිළිබඳ සොයාබලන ලෙස දන්වා තිබූ අතර එම ප්‍රදේශයේ සංවර්ධන නිලධාරීවරයාද මෙම දරුවන් වාසය කරන නිවසට ගොස් කරුණු සොයාබලා තිබේ.
මෙම කාන්තාව මීට පෙරද ඕමානයේ රැකියාවක් සඳහා ගොස් ඇති අතර, ඇයගේ සැමියා කරන ලද පැමිණිල්ලක් අනුව වලංගු කාලය නිම වීමට පෙර කාර්‍යංශය මැදිහත් වී ඇයව මෙරටට ගෙන්වාගෙන ඇතැයි වාර්තා වේ.
එසේ යළිත් දිවයිනට පැමිණි අදාළ දරු තිදෙනාගේ මව මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට වාර්තා කළ පළමු මාධ්‍යවේදියාට සහ මාධ්‍ය ආයතනයට සිය ස්තූතිය පල කරන බවයි. ඇය වැඩි දුරටත් සඳහන් කළේ ඇය සිටි ස්ථානයේ තවත් කාන්තාවන් 30 ක් පමණ මෙරටට පැමිණීමට නොහැකිව සිරවී සිටින බවයි.
එම මාතාවට සහ දරුවන්ට ජීවත් වීම සඳහා නව නිවසක් ඉදි කරදීමට එම ප්‍රදේශයේ නායක ස්වාමීන්වහන්සේ කටයුතු කරන බව ද උන්වහන්සේ ප්‍රකාශ කරන ලදී.
තවද එම අවස්ථාව දැක බලා ගැනීමට ප්‍රදේශයේ විශාල ජනතාවක් එක් රැස්ව සිටි බව ද අදාළ වීඩියෝ දර්ශනවලින් මනාව දර්ශනය වේ.
අදාළ වීඩියෝව පහතින් ,














































