පනාමුර කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ පෙරහැරක් සඳහා ගෙන එන ලද අලියෙකු පහරදීමෙන් දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් තිබේ .
මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය දෙකේ කණුව ගල්අමුණ පාර පදිංචි මුණසිංහගේ ලකිඳු නෙත්සර මුණසිංහ නැමැති දොළොස් හැවිරිදි පනාමුර මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
මෙම සිසුවා පාසල ඇරී පන්සල පිටුපස ඇති තේක්ක ඉඩමක බැඳ තිබූ අලියා බැලීමට තවත් සිසුවකු සමග එම ස්ථානයට ගොස් ඇති බව සදහන්.
ඉන් පසු අලියා පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය ඇතුළත් කළ සිසුවා බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් පැයක පමණ කාලයක් දැඩි වෙහෙසක් ගත්තත් තුනයි තිහට පමණ එම සිසුවා හදිසි ප්‍රතිකාර ඒකකයේ දී මිය ගොස් තිබේ.
පන්සල අසලදී මෙම පහරදීම පස්වරු දෙකට පමන සිදු වී ඇති අතර පහරදුන් අලියා පල්ලෙබැද්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් අලියෙකු බවට ප්‍රදේශවාසීන් පවසති.
අලියා බැඳ තිබූ ස්ථානය කම්බි ගසා වට කර ඇති අතර පන්සල පැත්තෙන් පමණක් එම ස්ථානයට ඇතුළුවීමට හැකි අතර එම ස්ථානයෙන් මෙම සිසුවා අලියා අසලටම ගොස් ඇති බවට පොලීසිය සඳහන් කර තිබේ.
මෙම සිද්ධියෙන් පසු අද දිනයේ දී පෙරහැර සඳහා අවට පාසල් වලින් පැමිණි නැටුම් කණ්ඩායම් කීපයක් ම ආපසු හැරී ගොස් ඇති අතර අද පස්වරුවේ පෙරහැර පැවැත්වීමට ද සූදානම් කර ඇති අයුරු ද දක්නට ලැබුණු බව අප වාර්තා කරු සදහන් කළේය.