සිය ප්‍රේම සබඳතා නැවතීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කරන ලද තැනැත්තන්ට දැඩි දඬුවම් පැනවිය හැකි වන පරිදි නව නීති සකස් කර ඇති බව වාර්තා වේ .
ඒ අනුව එවැනි වරදකට පළමු වරට හසුවන තැනැත්තකුට වසර පහක් නොඉක්මවන සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයකට යටත් කළ හැකිය. එවැනි වරදකට දෙවැනි වරට හෝ නැවත නැවත හසුවන යම් තැනැත්තකුට අදාළ දඬුවම් හෝ දඩ මුදල් දෙගුණයක් කරනු ලැබීමට හෝ දඬුවම් සහ දඩ මුදල යන දෙකම හෝ එය දෙගුණයක් ද කළ හැකිය.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මෙම නව නීති ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන අතර මෙයට කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.
විවිධ තරාතිරම්වල පුද්ගලයින් සහ කාන්තාවන් ප්‍රේම සබඳතා පවත්වන අතරතුරදී ලබා ගන්නා පුද්ගලික සහ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන, එම සබඳතා නතරවීමෙන් අනතුරුව හිරිහැර කිරීමේ අදහසින්, වෙනත් තැනැත්තන්ට බැලීමට හැකි වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණින් අදාළ නව නීති සකස් කර තිබේ.














































