මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන් තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ පවතින දැඩි මීදුම් තත්ත්වයන් හා මාර්ග ලිස්සන සුලු තත්ත්වයන් පවතින බවත් , මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති වීමේ අවදානමක් පවතින බවත් හැටන් පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරියකු ප්‍රකාශ කර තිබේ .
මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු දක්වන එම නිලධාරියා පවසන ලද්දේ හැටන් – කොළඹ , හැටන් – නුවරඑළිය මාර්ගවල කැරලයිනා, දියගල, කඩවල, පතන, දිඹුල, නානුඔය, රදැල්ල, යන ප්‍රදේශවල විටින් විට දැඩි මීදුම් තත්ත්වයන් පවතින බවත් , වීශේෂයෙන් සවස් හා අළුයම් කාලයන්වලදී මෙම මීදුම් තත්ත්වයන් හේතුවෙන් මාර්ගය නොපෙනී යන තත්ත්වයන්ට පත්වන බවත්ය.
මෙම මීදුම් තත්ත්වයන්ට අමතරව මෙම ප්‍රදේශයන්ට පවතින මද වැසි තත්ත්වයන් හේතුවෙන් මාර්ග ලිස්සන සුලු තත්ත්වයන්ටද පත්ව ඇති බවත් , මෙම තත්ත්වයන් මත මෙම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති වීමේ අවදානමක් පවතින බවත් එම නිලධාරියා සඳහන් කරන ලදී.
ඒ අනුව මෙම තත්ත්වයන් පිළිබඳව දැඩි අවදානයක් යොමු කර මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවන සියලුම රියදුරන් ඉතාමත් කල්පනාකාරීව තම රථ වාහන ධාවනය කරවීමට පියවර ගත යුතු බව එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.














































