දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් නොකර ප්‍රතිව්‍යූහගත කිරීමට පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර ඇති බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කිරීම මඟින් අර්බුද රැසක් නිර්මාණය විය හැකි බවට එහි ලේකම් කසුන් චාමර මහතා සඳහන් කර තිබේ.
“අපි දුම්රිය ස්ථානාධිපති සංගමය වශයෙන් අදහස් දැක්වීම කරලා තියෙනවා. මේ හැම සාකච්ඡාවකදීම. ඒ හැමවෙලාවේම ප්‍රකාශ කරලා තියෙන්නේ, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කරනවාට වඩා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමක් කරනවා නම් තමා වටින්නේ. අධිකාරියක් කිරීමේ දී අමාත්‍යාංශ ලේකම්තුමා අපි දැක්කා කියනවා මහ භාණ්ඩාගාරයේ මුදල් වෙන්කිරීමක් කරන්නේ නෑ කියලා සේවකයින්ට. දුම්රිය උපයන ලාභය මත තමා සේවකයින්ගේ පඩි ගෙවන්න ඕනේ. 19,382ක සේවකයින් පිරිසක් ඉන්නවා. ඒ අදාළ නඩත්තු කටයුතු හැමදේම ආදායම තුළින් උපයාගත යුතුයි. දුම්රිය මේ වනවිටත් පාඩු ලබන ආයතනයක්. ඉතින් මම හිතනවා මේක තව ටිකක් හොයලා බලලා විද්වත් කමිටුවක් හරහා අධිකාරියක් කරන්න ඕනේ.”














































