පස්යාල , ගිරිඋල්ල මාර්ගයේ විජය රජ දහන ප්‍රදේශයේ සුඛෝපභෝගී ජීප් රියක් හා ත්‍රී රෝද රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරා ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරින් පසු ජීප් රථයේ රියදුරු එහි ගමන් කළ භික්ෂූන් වහන්සේ සිටියදී පලා ගොස් ඇති බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීරිගම පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් කොන්දොස්තරවරයකූ වූ 40 හැවිරිදි එක් දරු පියෙකි.
පස්යාල දෙස සිට පැමිණ ඇති ත්‍රීරෝද රථය දකුණට හැරවීමේදී මීරිගම දෙසින් පැමිණි ජිප් රියේ ගැටී ඇති අතර බරපතල තුවාල ලත් ත්‍රීරෝද රථ රියදුරු මීරිගම රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ .
අනතුරට ලක් වූ ජීප් රථය හෝමාගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බවත් , බුලත්සිංහල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් සමග අනුරාධපුරය බලා ගොස් කරඬුවක් රැගෙන එමින් සිටින අතරතුරේ දී මෙම අනතුර සිදුවී ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළිව තිබේ .
පොලීසිය පවසන්නේ අනතුරින් පසු එහි ගමන් කළ භික්ෂූන් වහන්සේ සිටිය දී රියදුරා පලා ගොස් ඇති බවත් , රියදුරා සම්බන්ධ නිවැරදි තොරතුරු ලබා දීමට භික්ෂූන් වහන්සේ අසමත් වී ඇති බවත් ය.
වාහන හිමිකරු මාර්ගයෙන් රියදුරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසා තිබේ .














































