කොලොන්න , ඌරුබොක්ක ආදී සිංහරාජ අඩවියේ නැගෙනහිර ප්‍රදේශයට ඊයේ (22) රාත්‍රීයේ ඇද හැලී තිබෙන දැඩි වර්ෂාව හේතුවෙන් හුලන්දා ඔය හරහා ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව වෙත පැමිණි ජල කද හේතුවෙන් චන්ද්‍රිකා වැව පිටාර ගැලීමකට ලක්ව ඇති බව වාර්තා වේ .
එමෙන්ම අධික වැසි හේතුවෙන් පස්කදු කඩා වැටී ඇඹිලිපිටිය දොරපනේ හරහා ඌරුබොක්ක මාර්ගයත් ඇඹිලිපිටිය කෑල්ල හරහා ඌරුබොක්ක මාර්ගයත් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති බව වාර්තා වේ .
අද (23) උදෑසන වන විට ඇඹිලිපිටිය කෑල්ල හරහා ඌරුබොක්ක මාර්ග පමණක් එක් මංතීරුවක් විවෘත කිරීමට සමත්ව ඇති අතර වාහනවලට ගමන් කළ හැකි බව සඳහන් .
මීට අමතරව ඇඹිලිපිටිය දොරපනේ මාර්ගයේ විදුලි කණු විශාල ප්‍රමාණයක් කඩා වැටීමෙන් එම ප්‍රදේශයට ඊයේ (22) රාත්‍රීයේ සිට විදුලි බලය විසන්ධි වී තිබේ.
පස්කදු කඩා වැටීම හේතුවෙන් මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති අතර සිසුන් නොපැමිණීම හේතුවෙන් දොරපනේ ජාතික පාසල සහ දාපනේ එකමුතු ප්‍රාතමික විද්‍යාලය වසා දාමා තිබෙන නමුත් ගුරුවරුන් පැමිණ ඇති බව වාර්තා වේ .
බොහෝ ස්ථානවල නිවෙස් වලට පස්කදු කඩා වැටී ඇති අතර මේ සම්බන්ධයෙන් රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් හා කොළොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ මේ සම්බන්ධයෙන් මේ වන විටත් ග්‍රාමනිළධාරීවරුන් හා රාජ්‍ය නිළධාරීන් දැනුවත් කර ඇති බවත් , ඉදිරියේදී හදුනාගෙන ඇති ආපදාවට ලක්විය හැකි ස්ථාන වලින් ජනතාව ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ය.
එමෙන්ම මේ වන විටත් කාලගුණික තත්වය අයහපකත් බැවින් අවදානම් ස්ථානවල රැදී නොසිට අවශ්‍ය ආරක්ෂක ස්ථාන වලට දැනුම්දුන් පරිදි ඉවත්වන ලෙසත් , ඉතා ඉක්මනින් මාර්ග යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු ඒඒ අංශවලට දැනුවත්කර කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවද අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කරන ලදී .















































