හැටන් ලංගම ඩිපෝව මගින් ධාවනය කරනු ලබන සමහර බස් රථවලට සීසන් ලබා ගෙන ඇති පාසල් සිසුන් නොගැනිම හේතුවෙන් එම සිසුන් මෙන්ම එම සිසුන්ගේ දෙමාපියන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ.
හැටන් ගිනිගත්හේන, හැටන් බගවන්තලාව, හැටන් මස්කෙළිය, හැටන් තලවකැලේ යන මාර්ග ඇතුළු තවත් මාර්ග කිපයකම ධාවනය කරනු ලබන ලංගම බස් රථවල මෙම තත්ත්වයන් පවතින බවට විවිධ චෝදනා එල්ල වෙමින් පවති.
මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන පාසල් සිසුන් පිරිසක් පවසනුයේ හැටන් ලංගම ඩිපෝවෙන් ධාවනය වන සමහර බස් රථවලට සීසන් ලබා ගෙන ඇති තමන්ව නොගැනිම හේතුවෙන් තමන්ට නිසි වේලාවන්ට පාසලට යාමට නොහැකි තත්ත්වයක් පවතින බවත්ය.
මෙම තත්ත්වයන් මත බොහෝ අවස්ථාවන්වලදි පාසලේ පළමු කාල පරිච්ඡේදය තමන්ට අහිමි වන බවත් එවන් තත්ත්වයන් මත තමන් බොහෝ අවස්ථාවලදි ගුරුවරුන්ගේ විවිධ ඇනුම් බැනුම්වලට ලක්වන බවත් මෙම තත්ත්වයන් මත අමතර මුදල් ගෙවා පුද්ගලික බස් රථවල පාසල් යාමට තමන්ට සිදුවන බවත්ය.
මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන එම සිසුන්ගේ දෙමාපියන් පිරිසක් පවසනුයේ හැටන් ලංගම ඩිපෝවෙන් මාසය මුලදි එක්වර මුදල් ගෙවා තම දරුවන්ට සීසන් පත් ලබා දුන්නද සමහර බස් රථවලට සීසන් ලබා ගෙන ඇති තම දරුවන් නොගැනිම මත තම දරුවන් මෙන්ම තමන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම ඩිපෝවේ සමහර බස් රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට සීසන් ලබා ගෙන ඇති තම දරුවන් නයාට අදුකොළ වැනි තත්ත්වයට පත්ව ඇති බවත් මේ මත තම දරුවන්ගේ අධ්‍යාපනය අඩාල විමේ තත්ත්වයක් පවතින්නා සේම තම දරුවන්ට පාසල් යාම සදහා දිනපතා අමතර මුදලක් බස් ගාස්තු ලෙස ලබා දිමට සිදු විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.
මෙම චෝදනා පිළිබඳව සිදු කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරි ඩබ්ලිව්. ජි. ජේ. කේ. කිර්තිරත්න මහතා පවසන ලද්දේ සීසන් ලබා ගෙන ඇති සියලුම දෙනා බස් රථවලට ගන්නා ලෙස තම ඩිපෝව මගින් ධාවනය කරනු ලබන සියලුම බස් රථවල රියදුරු කොන්දොස්තර මහත්වරුන්ට උපදෙස් ලබාදි ඇති බවයි.
එම උපදෙස්වලට පිටුපාමින් යම් රියදුරකු හෝ කොන්දොස්තරවරයකු කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා බවත් යම් බස් රථයකට සීසන් ලබා ගෙන ඇති අය නොගන්නේ නම් එම බස් රථයේ අංකය දිනය ගමන් මාර්ගය සටහන් කර නිර්නාමිකව හෝ ලිපියකින් දන්වන ලෙස ඉල්ලා සිටින බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.













































