•කෙටි කලක් තුල තුන් වැනි වරටත් නගරය නාය යයි!
•පේරාදෙණිය නගරයේ අවධානම් වෙළද සැල් හා ඉන්ධන පිරවුම් හල තාවකාලිකව ඉවත් කිරීමට තීරණය කළා: මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්!
•ඔලුවට ගල් පෙරලුණත් මේ තැන් දාලා අපි කොහේ යන්නද: නගරයේ වෙළඳුන්!
•නාය යාමේ අවධානම වළක්වා වාණිජ වටිනා කමින් ඉහළ ආකර්ෂණීය නගරයක් ලෙස පේරාදෙණිය දියුණු කිරීමට අපි සැලසුම් ඉදිරිපත් කරනවා:වෙළද සංගමයේ සභාපති පී.ඩී.පී. බන්දුලසේන!
•නගරය දියුණු වනවාට එක්තරා පිරිසක් විරුද්ධයි!
•ලෝකයේම ආකර්ශනයට ලක් වුවත් කිසිම සංචාරකයෙකු පේරාදෙණිය නගරයට එන්නේ නැහැ!
—————————————————
නායයෑමේ අවධානම් තත්ත්වයක ඇති පේරාදෙණිය නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසකට අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පියවර ගෙන ඇත .
දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්
මීට කලකට පෙර ගල් පෙරලී හානි වූ පේරාදෙණිය ගම්පොළ පාරේ ඉන්ධන පිරවුම් හල ඇතුළු ව්‍යාපාරික ස්ථාන හයකට පමණ මෙම රතු නිවේදන නිකුත් කර ඇත .
ඊයේ (22 ) අලුයම් කාලයේ පේරාදෙණිය නගරයේ කදු බෑවුමේ පස් කදු කොටසක් නගරයේ කඩ කාමර කිහිපයක් මතට කඩා වැටුණු අතර එම එක කඩ කාමරයක නිදා සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.එම කඩ හිමිකරුවන්ට එම ස්ථාන වලින් ඉවත් වන ලෙස මීට පෙර අවස්ථා කිහිපයකදී ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය හා අදාල පළාත් පාලන ආයතන දැනුම් දී තිබූ බව මේ වන විට හෙලි වී ඇති අතර එම වෙළද සල් හිමියන් එම අනතුරු ඇගවීම් නොසලකා ව්‍යාපාරික කටයුතු වල නිරත වී ඇති බවද හෙලිවී තිබේ.
කොළඹ මහනුවර A1 මාර්ගයේ වැදගත් සන්ධිස්ථානයක් වන පේරාදෙණිය නගරයේ මහවැලි ගංගාවට සමාන්තරව බටහිරට වන්නට පිහිටා ඇති අවධානම් ආනතියක් සහිත කඳු ප්‍රදේශය මෑත කාලීනව දරුණු නාය යාමට ලක් වී තිබේ.
දුරකථන සම්ප්‍රේශණ කුළුණක් ඉදිකර තිබූ එම කන්දේ කොටසක් මීට වසර කිහිපයකට පෙර මෙවැනි වර්ෂා කාලයකදී නාය යෑමට ලක් වූ අතර ඉන් කෙට් කලකට පසුව ඉන්ධන පිරවුම් හලට ගල් පෙරලී සිදු වීමට ගිය මහා විනාශයක් යාන්තමින් වැළකුණි.
දශක ගණනක් පුරා නිසි සංවර්ධනයක් නොවූ පේරාදෙණිය නගරය
පේරාදෙණිය නගරය නාය යෑමට ලක් වීමත් සමඟ චීන රජයේ ආධාර ඇතිව වැසි ජලය බැස යාමට කාණු පද්ධති සකසා කන්ද සංරක්ෂණයට පියවර ගැණුනද එම කටයුතු නගරයට ප්‍රයෝජනවත් ලෙස නිම කිරීමට බලධාරීන් කටයුතු නොකළ බව ව්‍යාපාරික ප්‍රජාව චෝදනා කරති.මෙවර නාය ගිය කොටසද සංරක්ෂණය වන පරිදි බැමි ඉදිකිරීම සදහා මුදල් වෙන් වුවද එම කටයුතු නිසි ලෙස නොකිරීම මෙම හානියට හේතු වූ බවට ඔවුන් චෝදනා කරති .
මේ අතර තුර කාලයේ විවිධ දේශපාලන වුවමනා එපාකම් මත ව්‍යාපාරික ප්‍රජාවගේ මත ගැටුම් කඹ ඇඳිලි මත නගරය උඩ ඊරියගම ප්‍රදේශයේ වෙල් යායට ගෙන යාමට කටයුතු කළ අතර අදාල ඉඩම් අත්පත් කර ගැනීම් පවා සිදු කිරීමෙන් අනතුරුව එම කටයුතු ඇණ හිටිණි.පසුගිය කාලයේ පැවැති සෑම රජයකින්ම පේරාදෙණිය නගරය සංවර්ධනය කිරීම සදහා සැලසුම් ඉදිරිපත් කෙරුණු අතර දේශපාලන අධිකාරියේ ,නිළධාරින්ගේ හා පේරාදෙණිය වෙළද ප්‍රජාවගේ පටු තීන්දු තීරණ හේතුවෙන් අවාසනාවකට ඒ සියලු සැලසුම් මහවැලියට ගසා ගෙන ගියේ නගරයේ දියුණුව අපේක්ෂා කළ බොහෝ දෙනෙකුගේ අපේක්ෂා බොඳ කරමිනි.
මේ වන විට නගරයේ මහවැලි ගංගා ඉවුරේ වෙළද සැල් පවත්වා ගෙන යන පිරිස් ඒවා ගංංඉවුර ආක්‍රමණය කරමින් විශාල වශයෙන් ඉදිකිරීම් සිදු කරමින් සිටිති.මේ සියලු දේ උදේ හවස දකිමින් අදාළ බලධාරීන් මේ ස්ථානය පසුකර යන අයුරු සුලබ දසුනකි .
මෙම අවාසනාවන්ත සිදු වීමෙන් පසුව අද 2023 .11.22. දහවල් පේරාදෙණිය වෙළෙඳ සංගමය හදිසි හමුවක් කැඳවා අධික වර්ෂාපතනයක් පතිත වන කාලවලදී පේරාදෙණිය නගරය එල්ල වන අනතුරුදායක තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සකච්ඡා කර ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නාය යාමේ දැඩි අවධානමකට ලක්ව ඇති පේරාදෙණිය නගරය ආරක්ෂා කර ගැනීම සදහා කඩිනම් හා ප්‍රායෝගික ක්‍රමවේදයක් ගත යුතු බවයි .
ඉදිරි දින කිහිපය තුල නගරය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා රජයේ සියලු ආයතන වල නිළධාරින් හා දේශපාලන අධිකාරිය හමුවී ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය වූ බව පේරාදෙණිය වෙළද සංගමයේ සභාපති පී ඩී.පී.බන්දුලසේන මහතා පැවසීය .
පේරාදෙණිය වෙළද සංගමයේ සභාපති පී ඩී.පී.බන්දුලසේන මහතා
වෙළද සංගමයේ සභාපති වරයා පවසන්නේ රටේ පවතින දැඩි ආර්ථික අපහසුතාවයන් හමුවේ ඉතා අසීරුවෙන් ව්‍යාපාර පවත්වා ගෙන යන ව්‍යාපාරික ප්‍රජාව කබලෙන් ලිපට නොවැටෙන ආකාරයේ කඩිනම් හා ප්‍රායෝගික විසදුමක් මගින් පේරාදෙණිය නගරය ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස තමන් බලධාරීන්ට යෝජනා කරන බවයි.
පේරාදෙණිය නගරයේ භූ විෂමතාවය සැලකිල්ලට ගෙන එහි ඓතිහාසික වටිනාකම සුරැකෙන පරිදි වර්තමානයට ගැළපෙන සංවර්ධන යෝජනා ක්‍රමයක් මගින් නගරය හා ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගත හැකි ලෙස නගරය පවතින ස්ථානයේම සංවර්ධනය කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාවට තම සංගමය පූර්ණ එකඟතාව පල කරන බවද වෙළෙඳ සංගමයේ සභාපති වරයා පැවසීය.
නගරයේ නාය යාමේ අවධානම සහිත කොටසේ පාමුල සිට මහල් කිහිපයකින් සමන්විත වෙළෙඳ සංකීර්ණයක් ඉදිකර මහවැලි ගංගා ඉවුරේ ඇති වෙළෙඳ සැල් ඉවත් කොට එම ස්ථානයේ පේරාදෙණිය උද්භිද උද්‍යානය හා මහවැලි නදිය හන්තාන කදු පද්ධතිය නැරඹීමට හැකි වන පරිදි නැරඹුම් අංගනයක් ඉදිකිරීම සදහා මීට දශක ගණනාවකට පෙර ඉදිරිපත් වූ යෝජනා ක්‍රියාත්මක කිරීම මෙම නගරය වාණිජමය වටිනාකමින් යුතු දැකුම්කළු නගරයක් ලෙස දියුණු කිරීමට ඇති හොඳම යෝජනාවක් ලෙස හදුනාගෙන ඇති බවද බන්දුලසේන මහතා වැඩිදුරටත් පැවසීය .
(සරත් සමරනායක )














































