නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙන්නේ වත්මනයේ ජීවත්වන නීරෝගිතම මිනිසුන් වන්නේ බොලිවියාවේ ඇටේසන් ප්‍රදේශයේ ජීවත්වන ග්‍රාමීය ජනයා බවය . කසිදු වෛද්‍ය පහසුකමක් නොමැතිව දුෂ්කර දිවිපෙවෙතක් ගත කරන මෙම මිනිසුන් දිගුකාලීන ජීවිත ගත කරන බව සමාජ ගවේෂකයින් විසින් මෑතකදී සිදුකරන ලද සමීක්ෂණවලින් සොයා ගෙන තිබේ.
පැරණි මානව ශිෂ්ටාචාරයේ යල් පැන ගිය සාම්ප්‍රදායික ජීවන රටාවන් අනුගමනය කරන මෙම ග්‍රාමීය ජනතාවට නූතන ලෝකයේ ආහාර සංස්කෘතිය පිළිබඳව කිසිදු අවබෝධයන් නොමැත. එදිනෙදා දිවියේ තම තමන්ගේ ජීවනෝපාය සිදු කර ගෙන ස්වාභාවික ආහාරවලින් පෝෂණය වීම මොවුන්ගේ සුවිශේෂී ලක්ෂණයකි. දඩයම් කිරීම, මසුන් ඇල්ලීම, හේන් ගොවිතැන, යනාදී වෘත්තීන්හි නියැළෙන ඔවුන් මුළුමනින්ම තම බඩවියත රැකගන්නේ වනාන්තරයෙන් ලැබෙන ආහාරයක් භුක්ති විඳීමෙනි.
බොලිවියාවේ මානික්‍යු ගඟ අසබඩ ජීවත්වන ග්‍රාමීය ජනතාව දහතුන් දහසක් බව සමීක්ෂකයින් සොයා ගෙන තිබේ. ඔවුන් ද ජීවත් වන්නේ ජලජ පරිසරය ආශ්‍රය කරගනිමින් සිදු කරන වෘත්තීන්හි නියැළී මෙනි. බඩඉරිඟු, මඤ්ඤොක්කා, බතල සහ කෙසෙල් වැනි ආහාරයන් මොවුන්ගේ ප්‍රධානතම ආහාර වේ. තව ද හේන් වගාවෙන් ලබා ගන්නා ධාන්‍ය වර්ගද ඔවුන්ගේ ප්‍රියතම ආහාර අතර වේ. තාක්ෂණික ලෝකය පිළිබඳව කිසිවක් නොදන්නා මෙම ජනයා නාගරික ආහාර සංස්කෘතිය පිළිබඳව කිසිවක් නොදන්නා පිරිසක් බව ද සමාජ විශ්ලේෂකයින් ප්‍රකාශ කරනු ලබයි. බ්‍රිතාන්‍යයේ හදවත් රෝග වැලඳීමෙන් වසරකට මිය යන පුද්ගල සංඛ්‍යාව හැත්තෑ තුන් දහසකි.
එලෙසින් බලන කල මෙම බොලිවියානු ග්‍රාමීය ජනයාහට හදවත් රෝග වැළඳීමේ ප්‍රවනතාව ඉතාමත් අඩු මට්ටමක පවතින බව ද සොයා ගෙන තිබේ.කුඩා ළදරුවන්, කාන්තාවන්, පිරිමින් සහ වැඩිහිටි විය ඉක්මවූ පිරිස් ද කිසිදු රෝගයකින් තොරව ජීවත්වීම සැබවින්ම ආශ්චර්යක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කුඩා පිරිමි දරුවන් ගස්ලබු ගස්වලට නැග ගෙඩි කඩාගෙන එවෙලෙහිම ආහාරයට ගන්නා ආකාරය, වෙහෙස මහන්සි වී එදිනෙදා වැඩරාජකාරී කිරීම, වැද්දන් සේ සතුන් දඩයම් කිරීම යනාදියේ ඡායාරූප පසුගිය දිනක සමාජ මාධ්‍යයන්හි පළ වී තිබුණේ මෙම ග්‍රාමීය ජනතාවගේ සැබෑ කාර්යශූර බව මැනවින් ඔප්නැංවීමටය.
නිව් මෙක්සිකෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හිලාඩ් කැප්ලන් විසින් සිදු කරන ලද අධ්‍යනයකදී ඔහු ප්‍රකාශ කළේ “මොවුන් තන්තුමය ආහාර බොහෝ සෙයින් ලබා ගන්නවා. ඒ වාගේම අධික කැලරි ප්‍රමාණයකින් යුක්ත කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගනු ලබනවා. ඒ වුණත් ඔවුන් කාර්යක්ෂමව මහන්සි වී වැඩ කරනවා. දුම් පානය කරන්නෙත් නෑ. මේ සෑම දෙයක්ම නිසා ඔවුන් හදවත් රෝග වැලඳීමේ ප්‍රවනතාවය අඩුයි” යනුවෙනි.
ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවීඩ් සැටර් සඳහන් කරන්නේ“සරලදිවි පැවැත්ම, හැකි තරම් නොපිසූ, අමු ආහාර වලට පුරුදු වීම, දුම්පානය නොකිරීම හේතුවෙන් මොවුන්ගේ රුධිර නාල අවහිර නොවන අතර සැබවින්ම සෞඛ්‍ය සම්පන්නව ජීවත් වන බවයි.එසෙක්ස් විශ්වවිද්‍යාලයේ කායික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ගැමින් ස්ටැන්ඩකොක් ප්‍රකාශ කරන්නේ“ මම මෙතෙක් සිදුකරන ලද විශිෂ්ටතම අධ්‍යයනය මෙය යි“ යනුවෙනි.
– නුවන් සිරිවර්ධන –














































