ඇමෙරිකා එකසත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ විලියම් සහ මේරි විශ්ව විද්‍යාලය ප්‍රකාශයට පත්කළ නව වාර්තාවකට අනුව ඉදිරි වසර වලදී චීනයේ නාවික හමුදා කඳවුරක් ඉදිකිරිම සඳහා සත්කාරකත්වය දැරිය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ‘බැංකොක් පොස්ට්’ පුවත්පත වාර්තා කර තිබේ.
ඒ අනුව චීනය දැනමටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.19 ක මුදලක් හම්බන්තොට වරායේ ආයෝජනය කර ඇති බවත් , ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ඒ සඳහා සුදුසුම ස්ථානය විය හැකි බවත් එම වාර්තාවේ සඳහන් කර තිබේ .
එමෙන්ම චීන මහජන විමුක්ති හමුදාවට දැනට ඇත්තේ නැගෙනහිර අප්‍රිකාවේ රාජ්‍යයක් වන ජුබොටි හි එක් නාවික කඳවුරක් පමණක් බවත්, එක්සත් ජනපදය හා චීනය අතර සබඳතා උණුසුම් වීම හේතුවෙන් ඇමෙරිකාවේ සමුද්‍රීය ශක්තියට සමාන වීමට චීනයද තීරණය කර ඇති බවත් , චීනය වරායක් සඳහා මෙතෙක් සිදුකළ විශාලතම ආයෝජනය හම්බන්තොට වරායට සිදුකර ඇති බවත් , චීනය වරාය පාලනය කිරීම චීනයට කළ හැකි බවත් එම වාර්තාවෙන් වැඩි දුරටත් සඳහන් කර තිබේ .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය, ශ්‍රී ලංකාව තුළ චීනයේ ජනප්‍රියත්වය සහ චීනය ශ්‍රී ලංකාවේ සිදුකර ඇති ආයෝජන පිළිබඳ සලකා බලන කල චීනයට නාවික හමුදා කඳවුරක් ඉදිකිරීම සඳහා සත්කාරකත්වය දැරිය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇති බව වාර්තා වේ .















































