දොම්පේ පොලිස් වසමේ කඩ කාමරයක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබෙන බව වාර්තා වේ.
ඊයේ (14) දින දහවල් කාලයේ ගිරිදර හංදිය ප්‍රදේශයේ කඩ කාමරයක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට දොම්පේ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 30 ක් පමණ වයසැති කාන්තාවක් වන අතර ඇයගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.
දොම්පේ පොලිස් වසමේ ගිරිදර හංදිය ප්‍රදේශයේ ඇති මෙම කඩ කාමරය , කඩ කාමරය කුලියට ගෙන තිබූ පුද්ගලයෙකු විසින් මිතුරෙකුට හා එම මිතුරා සමඟ පැමිණි කාන්තාවකට පසුගිය 13 වනදා රාත්‍රී කාලයේ නවාතැන් ගැනීම සඳහා ලබා දී තිබේ . පසුදින පරික්ෂා කිරීමේදී නවාතැන් ගෙන සිටි කාන්තාව එම කඩ කාමරය තුළ මිය ගොස් සිට ඇති බවට නිරීක්ෂණය වූ බව කඩ කාමරය කුලියට ගෙන තිබූ පුද්ගලයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ. ඒ අනුව එම සිද්ධියෙන් පසුව කාන්තාව සමඟ පැමිණි පුද්ගලයා අතුරුදන්ව තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු දොම්පේ පොලිසිය විසින් සිදුකරන අතර මෘත ශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.














































