පසුගිය අලුත් අවුරුදු සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංවිධානය කර තිබූ අවුරුදු උත්සවවල රටේ සංස්කෘතික හර පද්ධතීන්ට නොගැළපෙන ආකාරයෙන් විකෘති මෙන්ම ලිංගික ක්‍රියාවන් ඉස්මතු වන ආකාරයට ක්‍රීඩා අංග රැසක් සංවිධානය කර තිබූ අතර එම සිද්ධීන් සම්බන්ධයෙන් සංකෘතික කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි රැසක් ලැබී ඇති බව වාර්තා වේ.
මෙවැනි විකෘති ක්‍රීඩා අංග සංවිධානය කර තිබූ අවුරුදු උත්සව සම්බන්ධයෙන් සංස්කෘතික අමාත්‍යාංශය මේ වන විට තොරතුරු සොයමින් සිටින බව සඳහන්.එමෙන්ම මේ සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා බව සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු සභාපති අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු ,
“බොහෝ දෙනාට සිංහල ජන ක්‍රීඩා ගැන සරල අවබෝධයක් තිබුණත් ඒවා නිර්මාණය වීමට හේතු වූ මූලාශ්‍ර, කරුණු මොනවාද, ඒවා නිවැරැදිව භාවිත කරන්නේ කොහොමද කියන එක වගේම ඒවා ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැහැ. රටක් විදියට මෙවැනි දේවල් වහාම වෙනස් වෙන්න ඕනෑ වගේම වෙනස් කරන්න ඕනෑ. එදා තිබුණු ජන ක්‍රීඩාවලින් බහුතරයක් අද වන විට අපිට දැක ගන්න බැහැ. ඒක මහා අවාසනාවන්ත තත්ත්වයක්. වෙනත් රටක මෙවැනි දෙයක් වුණා නම් පළමුව ඊට විරුද්ධව නැගී සිටින්නේ ජනතාව. ඒත් ලංකාවේ මේවට අනුබල දෙන්නේම වැඩිහිටි ප්‍රජාව. ඒ නිසා මේ ගැන සියලු දෙනාම අවධානය යොමු කරලා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒ සඳහා මම අනිවාර්යෙන්ම සහය ලබා දෙනවා”















































