තිරප්පනේ ලබුනෝරුව කදුපාගම ප්‍රදේශයේ හේනක තුඹසක් තුළ තිබී හමුවූ මී වදයකින් මී පැණි අනුභවයට ගැනීමෙන් පසු ආසාත්මිකතාවයක් ඇතිවී බිම ඇද වැටීමෙන් පනස් එක් හැවිරිදි ගොවි මහතෙකු ඊයේ (04) සවස මියගොස් ඇති බව වාර්තා වේ.
තිරප්පනේ ලබුනෝරුව කදුපාගම ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකු වන ඩී.ශාන්ත හිට්ලර් කොඩිතුවක්කු නමැති ගොවි මහතෙකු මෙසේ මියගොස් තිබේ.
ඔහු එළඹෙන මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සදහා කුලී පදනම මත ලබා ගත් ඩෝසර් යන්ත්‍රයකින් තිරප්පනේ ලබුනෝරුව කදුපාගම ප්‍රදේශයේ පිහිටි සිය හේන සුද්ද පවිත්‍ර කරමින් සිටියදී තුඹසක තිබී හමුවූ මී වදයක මී පැණි අනුභවයට ගත් අවස්ථාවේ එකවරම ක්ලාන්ත වී එම ස්ථානයේම බිම ඇද වැටී ඇති බව සඳහන්.
අනතුරුව වහා ක්‍රියාත්මක වී ඇති ඩෝසර් යන්ත්‍රයේ ක්‍රියාකරු හා ඔහුගේ සහයකයා එක්ව ක්ලාන්ත වී බිම ඇද වැටුණු ගොවි මහතා ප්‍රතිකාර සඳහා වාහනයකින් මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට රැගෙන යමින් සිටි අතරතුර මියගොස් තිබිණි.
පසුව මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරී විසින් රෝගියා පරීක්ෂා කර ඔහු මියගොස් ඇති බව පවසා තිබේ.
අනතුරුව මියගිය පුද්ගලයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල මූලික රෝහල වෙත යැවීමට කටයුතු කර තිබිණි.
ඒ අනුව මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.