ගම්පොල – පුස්සැල්ලාව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ 8 හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට එම විහාරස්ථානයේ තවත් හිමිවරු තුන් නමක් විසින් අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ.
බුද්ධ පූජාව තැබීමේ දී ගාථා වරදින බව පවසමින් හිමිවරු තුන් නමක් විසින් මෙසේ කුඩා සාමණේරයන් වහන්සේට පහර දී ඇති බව සඳහන්.
සාමණේර හිමිනමගේ සීයා සහ මිත්තණිය විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ සාමණේර හිමියන් යම් අපහසුතාවයක සිටින බව නිරීක්ෂණය වී ඇත. පසුව මේ සම්බන්ධයෙන් විහාරස්ථානයේ විහාරාධිපතිහිමියන්ට පවසා ඇති අතර ඊට ප්‍රතිචාර දැක්වූ විහාරාධිපතිහිමියන් ප්‍රකාශ කර ඇත්තේ සාමාණේර හිමිනමට ඒ සඳහා බෙහෙත් අරන් දෙන ලෙසයි. නමුත් සිද්ධිය සම්බන්ධයෙන් දැන ගත් සාමණේර හිමිනමගේ සීයා විසින් උන්වහන්සේගේ ලොකු තාත්තාට දන්වා ඇත. පසුව ඔවුන් පැමිණ සාමණේර හිමියන් පසුගිය 20 වනදා ගම්පොල රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර සාමණේර හිමියන් වැඩිදුර ප්‍රථිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ සාමණේර හිමිනගේ පියා ,
“මේ ගැන ගම්පොල රෝහල් පොලීසියට කීවා. පස්සේ පුස්සැල්ලාව පොලීසියට පැමිණිල්ලක් කිරීමට ගියාම එහෙන් කීවා රෝහල් පොලීසියට කිව්ව නිසා අවශ්‍ය නෑ පරීක්ෂණ සිදු කරනවා කියලා.පොඩි හාමුදුරුවෝ ඉස්කෝලේ දෙකේ පංතියේ ඉගෙන ගන්න තමයි මහණ වුණේ.මහණවෙලා තාම මාස එකහමාරයි.ලොකු හාමුදුරුවෝ නැති වෙලාවට පන්සලේ ඉන්න අනෙක් හාමුදුරුවරු අපේ පොඩි හාමුදුරුවන්ට බුද්ධ පූජාව තියන්න කියනවලු , තාම ඒවා පුරුදු නැති නිසා ගාථා පැටලෙනවා ඒ ගැන කියලා දවස් ගානක් මේ හාමුදුරුවෝ තුන්දෙනා පොඩි හාමුදුරුවන්ට ගහලා වද දීලා. බෝතලයකට මුත්‍රා කරලා පොවලා. බිමට දෙහි දාලා දිවෙන් ඒවා ලෙව කන්න කියලා. කන ඇදලා ඉරලා කොසු කැඩෙනකම් ගහලා. තට්ටම්වල ලොකු තුවාල . නහයට ගහලා නහයත් කඩලා දැන් නහය ඇද වෙලා තියෙන්නේ. නහයෙන් ලේ හුගක් ගියා කියලා පොඩි හාමුදුරුවෝ කිව්වා. ගහලා තුවාල උනාම දැවිල්ල එන්න නාවලා. ලොකු හාමුදුරුවන්ට මේ ගැන කිව්වොත් මරණවා කියලා තියෙනවා. දවස් ගානක් මෙහෙම ගහලා ශරීරයේ තුවාල සීයයකට වැඩිය තියෙනවා. අපි කියන්නේ මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා. කටට ගහලා දතක් ගැලවිලා තොල් පුපුරලා , දරුවා ශාසනයට පූජා කළේ මෙහෙම දුක් විදින්න නෙවෙයි. දැනට දවස් ගානක් ගිහිල්ලත් තාම නීතියත් හරියට ක්‍රියාත්මක නෑ. “














































