තඹ ගැනීමේ අරමුණින් රටපුරා ඇති දුරකථන රැහැන් හා විදුලි කම්බි කපන කණ්ඩායමක හත්දෙනෙකු ගලහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ටෙලිකොම් සමාගමට අයත් ගලහ නිල්ලඹ සිට හාල්වත්ත දක්වා වූ දුරකථන රැහැන් කපමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
ටෙලිකොම් සමාගමේ සේවකයන් ලෙස නිල ඇඳුම් හැඳ ත්‍රිරෝද රථ දෙක ද ටෙලිකොම් ලාංඡන හා නාමය ගසාගෙන මොවුන් මෙම රැහැන් කපමින් සිට තිබේ.
පෙරේදා (2) රාත්‍රි 7.00 වනතුරුත් මෙලෙස දුරකථන කණු මත සිටිමින් කේබල් කපා ඉවත් කිරීම පිළිබඳව සැක කළ පොලිසිය ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කර තිබේ.
ඒ වන විටත් කිලෝමීටර් දෙකක පමණ රැහැන් කපා ත්‍රිරෝද රථවලට පටවා ඇති අතර තව කොටසක් මාර්ගයේ බෝක්කුවක් යට සඟවා තිබීම පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ඔවුන් ටෙලිකොම් සේවකයන් නොවන බව හෙළි වී තිබේ.
නුවරඑළිය, රම්බොඩ හා කඩුගන්නාව ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් රටේ විවිධ ප්‍රදේශවලට ගොස් මෙයාකාරයට රැහැන් කපා ඒවාහි තඹ සොයන පිරිසක් බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබූ ත්‍රිරෝද රථ දෙකක් ඉණිමං හා උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබිණි.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක, ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ගුණසේකර යන නිලධාරීන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුගත් විජේසිංහ, පොලිස් සැරයන් සිල්වා (57833), රණසිංහ (47224), පොලිස් කොස්තාපල්වරුන් වන කුමාර (101313), හේරත් (57844), අංජන (103871) යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණ සිදු කර තිබේ.














































