කෑගල්ල රෝහලේදී ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් පසු සංකූලතා ඇති වූ 57 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
එම පුද්ගලයා පසුගිය 10 වැනිදා රෝහල් ගතකර ඇත්තේ අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් මතයි.
ඔහුට ප‍්‍රතිජීවන ඖෂධ 13ක් ලබා දී ඇති අතර 14වන ඖෂධය ලබා දීමෙන් පසු ආසාත්මිකතාවක් සමග ඔහු මියගොස් තිබේ.
රෝහල් බලධාරීන් සඳහන් කරන්නේ දැනට මතභේදයට තුඩු දී ඇති ප්‍රතිජීවක ඖෂධයක් මෙම 57 හැවිරිදි පුද්ගලයාටද ලබා දී ඇති නමුත් එදින මෙම ප්‍රතිජීවක ඖෂධ ලබා දුන් රෝගීන් 19 දෙනෙකු රෝහලේ සිටින බවත්ය.
මේ අතර වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමඟින් මරණ සිදුවීම යන කරුණු හේතු කර ගෙන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අද (20) සමගි ජන බලවේගය කටයුතුකර තිබේ.
බාල සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සහ භාවිතය හේතුවෙන් පසුගිය කාලයේ අප රටේ රෝහල් පද්ධතිය තුළ විශාල මරණ සංඛ්‍යාවක් සිදු විය.
ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සමගි ජන බලවේගය ආණ්ඩුව දැනුවත් කළ නමුත් ඒ පිළිබඳ ඔවුන් තැකීමක් නොකර හදීසි අවස්ථාවක් යැයි සලකා ප්‍රසම්පාදන හා ලියාපදිංචි ක්‍රියාවලියෙන් බැහැරව එම ඖෂධ ගෙන්වීම සිදු වූ අතර ඒ හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවකම ජීවිත අහිමි වීම් සිදු විය.
මේ කරුණු පෙරදැරි කර ගෙන මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් තැබීම අද සිදුවන අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කොන්දක් තිබේ නම් මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කරන ලෙස යි.
එසේ ම රටක සෞඛ්‍ය යනු ජනතාවගේ ජන ජීවිතය බවත් සෞඛ්‍ය පිරිහීම ජනජීවිතයේ කඩාවැටීමට හේතුවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
( සරත් සමරනායක )













































