පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහලේකම් ධුරයෙන් ඉවත් කළ අතර පක්ෂ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිය අත්සනින් යුතු ලිපියක් නිකුත් කරමින් ඔහුට ඒ පිළිබඳ දැනුම් දී තිබුණි. එම තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා නීතීඥවරයෙකු මාර්ගයෙන් අද (06) පස්වරුවේ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
දයාසිරි ජයසේකර මහතා පක්ෂ සාමාජිකත්වයෙන් සහ එහි මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානය අද (06) පෙරවරුවේ ඉබි යතුරු දමා වසා තිබූ අතර පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත්කරන ලදී.
අද (06) දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කාර්යාලයේ කටයුතු යළි ආරම්භ කෙරුණු අතර අද (06) දහවල් පක්ෂ මුලස්ථානයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මහ ලේකම් තනතුර නොමැතිව වෙනත් ඕනෑම තනතුරක් වෙනුවෙන් දයාසිරි ජයසේකර මහතාව පක්ෂයට භාරගැනීමට සුදානම් බවයි.
“අයින් කරලා නෑ… තාවකාලිකව පොඩ්ඩක් එයාගේ වැඩකටයුතු නැවැත්තුවා. අද අධිකරණයේ නඩුවක් තියෙනවා මාව නායකත්වයෙන් අයින් කිරීම පිළිබඳව. තව කරුණු ගණනාවක් තියෙනවා. ඒවාගේ විස්තර කියන්න මම එච්චර කැමති නෑ. එයාට කිසිම ප්‍රශ්නයක් නැතුව පක්ෂයට එන්න පුළුවන් අපි භාරගන්නවා. ලේකම් තනතුර හැර වෙන ඕනෑම තනතුරකට එයාව භාරගන්නවා. සාමාජිකත්වය අත්හිටුවලා තියෙනවා. ඒක ඕනෑම වෙලාවක අයින් කරගන්න පුළුවන් අපිත් එක්ක එකඟත්වකට ඇවිත්, එයා කරන අනං මනං වැඩ නවත්තලා ආවොත්. “