පේරාදෙණිය රෝහලේදී එන්නතක් දීමෙන් පසුව 21 හැවිරිදි තරුණිය මියයෑමට හේතුව එම රෝහලේ මිලිලීටර් 10 සිලින්ජර නොමැතිවීමෙන් ඒ සඳහා මිලිලීටර 5 සිලින්ජර භාවිතා කිරීම බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. බී. එස්. මැදිවත්ත මහතා අද (13) පැවසීය.
ඇයට එන්නත් කළ ප්‍රතිජීවක ඖෂධය මිලිලීටර් 10 සිලිජරයක දියකර එන්නත් කළ යුතු වුවද පේරාදේණිය රෝහලේ පමණක් නොව කොළඹ ජාතික රෝහලේ ද මිලිලීටර් 10 සිලින්ජර නොමැති බව කී මැදිවත්ත මහතා ඒ හේතුවෙන් ඇයට එන්නත දුන් හෙද නිලධාරිනිය මිලිලීටර 5 සිලින්ජර දෙකක දියකර දෙවරක් එන්නත් කර ඇති බව ද සඳහන් කළේය.
එම හෙද නිලධාරීනිය මිලිලීටර 5 සිලින්ජරයක දියකර දුන්නේ නම් ඇතැම් විට අධි සාන්ද්‍රණයකින් ලැබීමට ඉඩ තිබූ බවත් අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ රෝහල්වලට ආණ්ඩුව නොදීම මෙයට හේතුව බවත් ඒ මහතා කීය.
අදාල තරුණියට එන්නත් කර ඇති ඖෂධය සමස්ත රටේම රෝහල්වල භාවිතා කරන ඖෂධයක් බව කී ඒ මහතා පැවසුවේ හෙද නිලධාරිනියගෙන් කිසිඳු වැරදීමක් වී නොමැති අතර එන්නත නියමිත ආකාරයට දී ඇති බවත්ය.
මෑතක සිට ඖෂධ ගන්නා සමාගම් මාරු කිරීම මෙන්ම ඒ සමාගම් පිළිබඳව නිසි විශ්වාසයක් නොමැති වීම නිසා කොමිස් හෝ වෙනයම් හේතුවක් උඩ බාල ඖෂධයක් ලබාගෙන ඇති බවට සැකයක් ඇති බවත් ඖෂධ සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධාරීන් සහ ජනමාධ්‍ය අවස්ථා ගණනාවකදී දැනුවත් කිරීමට පියවර ගත්ත ද විශේෂයෙන් ආණ්ඩුව පැත්තෙන් ඊට අදාල කිසිඳු කාරණාවක් සම්පූර්ණ කිරීමට කටයුතු නොකළ බවත් ඒ මහතා පැවසීය.
හෙද කාර්ය මණ්ඩලය හැටියට ආණ්ඩුව දෙන ඖෂධ රෝගීන්ට දෙන්න සිදුව ඇති බව කී ඒ මහතා එහිදී ඖෂධයේ ගුණාත්මකභාවය පිළිබඳව කටයුතු කිරීමේ හැකියාවක් හෙද කාර්ය මණ්ඩලයට නොමැති බව වැඩි දුරටත් සඳහන් කළේය.
සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්. එම්. බී. එස්. මැදිවත්ත මහතා කොළඹදී අද (13) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
( ලංකාදීප )













































