විදුලිබල පනත ප්‍රකාරව විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමේ දී තැන්පත් කරන මුදල වෙනුවෙන් ගෙවිය යුතු පොලිය ජුලි මස සිට ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය එකඟ වී ඇති බවත් , සාමාන්‍ය ජනතාවගේ තැන්පතු වෙනුවෙන් ගෙවිය යුතු පොලිය ප්‍රථමයෙන් ගෙවන ලෙසත් විදුලි පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමය නියෝජනය කරමින් මාධ්‍ය හමුවකට එක් වූ ආචාර්‍ය නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වැඩි දුරටත් අදහස් දක්වූ ආචාර්‍ය නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ,
“ඒ පොලිය අයිති විදුලි පාරිභෝගිකයින්ට. නමුත් ඒ අයිතිය විදුලිබල මණ්ඩලය ලබාදුන්නේ නැහැ. ඒ නිසා අධිකරණයට ගිහින් ලොකු සටනක් කරන්න වුණා. ඒ තුළින් හැකියාවක් ලැබුණා විදුලි සම්බන්ධතාවය ලබාදීමේදී ලබාගන්නා තැන්පතුව වෙනුවෙන් දෙන පොලිය ගෙවන බවට. විදුලිබල මණ්ඩලය පොරොන්දු වුණා ජුලි මාසයේ සිට පොලිය ලබාදීමට කටයුතු කරනවා කියලා. හැබැයි ඒකත් කොටස් දෙකකට. මුලින්ම විශාල ප්‍රමාණයේ පාරිභෝගිකයින් සඳහාත් , ජනවාරි සිට කුඩා ප්‍රමාණයේ පාරිභෝගිකයින් සඳහාත්. ඒකෙනුත් පොඩි මිනිහට තමයි පහර ගහන්නේ. අපි ඉල්ලා සිටින්නේ සාමාන්‍ය ජනතාවගේ තැන්පතු සඳහාවූ පොලී මුදල් මුලින්ම ගෙවන්න කියලා.”














































