පිටකොටුව දෙවැනි හරස්වීදියේ සයමහල් ගොඩනැගිල්ලක රෙදිපිළි අලෙවිසැලක් තුළ අද (27) පෙරවරු 09.30ට පමණ ගින්නක් හටගෙන තිබිණි.
වෙළෙඳසැල විවෘත කර මද වේලාවක් තුළ මෙම ගින්න හටගෙන ඇති බව සඳහන් .
අනතුරුව කඩිනමින් ක්‍රියාත්මක වූ කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් ගින්න පාලනය සඳහා පියවර ගත් අතර ඒ සඳහා ගිනි නිවීමේ රථ 11ක් සහ නිලධාරීන් 45 දෙනෙකුගේ සහාය යොදා ගන්නා ලදී.
ගින්න ඇති වීමත් සමඟ ගොඩනැගිල්ල තුළ සිර වූ සේවකයන් ඇතුළු පිරිස් මුදාගැනීමට ඔවුන් පියවර ගෙන තිබූ අතර පිළිස්සුම් තුවාල සහ ශ්වසන අපහසුතා ඇති වූ පුද්ගලයන් 20 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී .
පැය දෙකකට ආසන්න කාලයක් තුළ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වූ නමුත් අලෙවිය සඳහා තබා තිබූ සාරි ඇතුළු රෙදිපිළිවලට සහ ගොඩනැගිල්ලට ගින්නෙන් දැඩි හානි සිදුව තිබුණු බව වාර්තා වේ.
කෙසේ වෙතත් අද (27) පස්වරුව වන විට ගොඩනැගිල්ලේ ඇති වූ ගින්නට හේතුව අනාවරණ කරගැනීමට පොලීසියට හැකි වී තිබෙන අතර පොලීසිය පැවසුවේ, අද (27) උදෑසන වෙළෙඳසැල විවෘතකර දුම් ඇල්ලීමේ දී ඩීසල් බහාලුමක් ගිනිගෙන එය විදුලි ජනන යන්ත්‍රය දක්වා ව්‍යාප්ත වීමෙන් ගින්න හටගෙන ඇති බවයි.