හැටන් නගරයෙන් ධාවනය වන සමහර පුද්ගලික බස් රථවලින් මගීන්ට ටිකට් පත් නිසි ලෙස ලබා නොදීමත් සමග එම බස් මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන එකී පුද්ගලික බස් රථවල ගමන් කරන මගීන් පිරිසක් පවසනුයේ හැටන් සිට මස්කෙළිය, බගවන්තලාව, තලවකැලේ, ෆෝඩයිස්, ඩයගම, සාම්මලේ, වැනි මාර්ගවල ධාවනය කරනු ලබන සමහර පුද්ගලික බස් රථවල සේවය කරනු ලබන සමහර කොන්දොස්තරවරුන් තමන්ගෙන් මුදල් ලබා ගත්තද තමන්ට ටිකට් පත් ලබා නොදෙන බවයි.
මෙම තත්ත්වයන් මත යම් ආකාරයකින් තමන් ගමන් කරන බස් රථ අනතුරකට පත් වුවහොත් එම බස් රථයේ තමන් ගමන් කළ බවට සහතික කිරිමට කිසිවක් නොමැති බවද එම පිරිස් පවසා තිබේ.
එමෙන්ම මෙකී සමහර පුද්ගලික බස් රථ ධාවනය කරනු ලබන සමහර රියදුරන් ජංගම දුරකථන භාවිතා කරමින් තනි අතින් බස් රථය ධාවනය කරවන බවත් මෙම තත්ත්වයන් මත විවිධ අනතුරු ඇති වීමේ අවදානමක් පවතින බවද එම පිරිස් පවසති.
මෙම තත්ත්වයන් පිළිබඳව අදාල නිලධාරින් නිසි අවදානයක් යොමු නොකර බලා සිටීම දැඩි කනගාටුවට කරුණක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.