කාලිදාසයන්ගේ, වාල්මිකීගේ එසේත් නැතිනම් මැක්සිම් ගෝර්කිගේ, තෝල්ස් තෝයි ගේ හෝ දොස්තොව්ස්කිගේ මව හෝ පියා කවරෙක් දැයි සෙවීමට අප වෙහෙසිය යුතු නැතැයි මම සිතා සිටියෙමි. ඒවා ඕපාදූප නොවේදැයි මට එකල සිතිණ.
එහෙත් වැදගත් සාහිත්‍ය කෘතීන් ලොවට දායාද කළ මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ගේ තොරතුරු සෙවීමට, ඔවුන් අයත් වූ ජාතීන් යුහුසුළු වීම තුළ ඕපාදූප සෙවීමට වැඩි යමක් එනම් මානුෂික ගුණ ධර්මයක් ගැබ්ව ඇති බව පසු කළෙක මට අවබෝධ විය.
ඔවුන්ට සෙවණ දුන් නිවස, ඔවුන් පරිහරණය කරනු ලැබූ භාණ්ඩ ජාතික වස්තුන් සේ සලකා පිදීමට තරම් බොහෝ ජාතීන් කෘතඥ වී ඇති බව පෙනෙන්නට තිබේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ආගිය තොරතුරු සෙවීමට විද්වතුන් පෙළඹී ඇත්තේද ඒ නිසා විය හැක. සිංහල නාට්‍ය වංශ කථාවේ ප්‍රදීපස්ථම්භය වූ කලී අපට සිහියට නැගෙන්නේ, මනමේ නාටකයයි. එතැන් සිට නාට්‍ය වංශ කථාවේ රතඹර ලෙසින් ප්‍රකට වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ය. එතුමන් මෙලොවින් සමුගෙන අද(16) දිනට පුරා විසිනව වසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
1956 වසරේ මනමේ නාටකය නිෂ්පාදනය වූ දා සිට මේ දක්වා කාලය වසර හැටහතකි. ඉතා පැරණි ඉතිහාසයක් ඇත සිංහල නාට්‍ය කලාවේ වසර හැටහතක ගමන් මග විමසීමට අප සැරසෙන්නේ නියත වශයෙන්ම සිංහල නාට්‍ය කලාවේ සන්ධිස්ථානය මනමේ නාටකයෙන් ඇරඹුණු බව කවුරුත් පිළිගත් නිසා බැවිනි.
එහෙත් එම ගමන් මගෙහි පිය සටහන් දෙස බලන විට වඩා උසස් තත්ත්වයට සිංහල නාට්‍ය කලාව පැමිණ ඇත්ද යන්න සැකයකි. දැනට අවුරුදු හැටහතකට පෙරද නාට්‍ය නිෂ්පාදනය කළ සරච්චන්ද්‍රයන් මෙරට පැවති සම්ප්‍රදායක් මත ගොඩ නැගුනු උදාර ගැමි නාට්‍ය කලාවත් දෙමළ ගැමි නාට්‍ය කලාවත් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව එදා හොඳින් වටහා ගත්තා පමණක් නොව අන් ආසියානු රටවල නාට්‍ය කලාවන්ද අධ්‍යනය කළේය.
මෙලොව ඉපදී ප්‍රේමය පිළිබඳ ස්ථීර නිගමනයකට එළඹිය නොහැකි වන අනුකම්පාවෙන් යුත් ස්ත්‍රී වර්ගයාගේ චෛතසික ස්වභාවය මොන තරම් අපුරු ලෙස මනමේ තුළින් අප වෙත සරච්චන්ද්‍රයන් ලබාදී ඇත්ද යන්න මහා දුක්ඛාන්තයක් ලෙස අප ඉදිරියේ දිග හැරෙන මනමේ නාටකයෙන් ධ්වනිත වේ. මෙවැනි ජීවන දැකීමක් මීට පෙර කිසිඳු නාට්‍යයකින් ඉදිරිපත් කොට නැත.
1914 ජුනි මස 02වන දින දකුණු පළාතේ ගාලු දිසාවේ රත්ගම නම් ග්‍රාමයේදී ජන්ම ලාභය ලද මෙතුමා වැදිතන්ත්‍රිගේ යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා නමින් හැදින්වූ අතර පසුකාලීනව වැදිතන්ත්‍රිගේ එදිරිවීර සරච්චන්ද්‍ර නමින් ප්‍රකට විය.
ගාල්ල රිච්මන්ඩ්, පානදුර ශාන්ත ජෝන්, ගල්කිස්ස ශාන්ත තෝමස් ආදී පාසල් වලින් අධ්‍යාපනය ලැබුවද එතුමන් සිංහල, පාලි, සංස්කෘත, ලතින්, ඉංග්‍රීසි ආදි භාෂාවන් පිළිබඳවද ප්‍රාමාතික වියතෙක් ලෙසද ප්‍රසිද්ධ විය. කොළඹ යුනිව සිටි කොලිජියට ඇතුළත් වූ එතුමා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් උසස් ලෙස සමත්ව 1936 දී ගෞරව උපාධියක් හිමි කර ගන්නා ලදී.
ඉංග්‍රීසි භාෂාව පිළිබඳව හසළ දැනුමක් තිබූ එතුමා “සිලෝන් ඩේලි නිවුස් පුවත් පතේ සේවය කොට 1939 වසරේදී භාරතයේ රවීන්ද්‍රනාත් තාගෝර් යටතේ ශාන්ති නිකේතනයේදී භාරතීය දර්ශනය හා සංගීතය පිළිබඳව පුළුල් ලෙස හැදෑරුමි කරන ලදී. කෙටිකලක් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළ එතුමා කථිකාචාර්යවරයෙකු ලෙස විශ්ව විද්‍යාල සේවයට එක් වූහ. එමෙන්ම පෙරදිග දර්ශනය පිළිබඳව “ශාස්ත්‍රපති උපාධිය දිනාගෙන තිබේ.
ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් ලියා පළ කළ එතුමා “අපේ චිත්ති, සාහිත්‍ය විද්‍යාව, සිංහල නවතාව, කල්පනා ලෝකය, නාට්‍ය ගවේෂණ, අසම්පූර්ණ චාරිකා සටහන්, සිංහල ගැමි නාටකය, වෙස් මුහුණද සැබෑ මුහුණද, දාර්මිෂ්ඨ සමාජය ආදී සිංහල ග්‍රන්ථ මෙන්ම Buddhist pythology of perception, The Sinhalese Novel, The Sinhalese folk play එතුමන්ගේ ඉංග්‍රීසි ශාස්ත්‍රීය ග්‍රන්ථද ප්‍රධාන වේ. පිං ඇති සරසවි වරමක් දෙන්නේ “එතුමාගේ ස්වයං ලිඛිත චරිතාපදානයයි.
මෙරට බිහිවූ අග්‍රහණ්‍ය විද්වතෙකු වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් බිහි කළ සිසු පරපුර ඉතා විශාල වේ. ඇවිදින පුස්තකාලයක් බදු එතුමෝ පින්කෙතකි. 1965 දී ලලිතා පෙරේරා මහත්මිය සමග විවාහ වූ එතුමා තිදරු පියෙකි. යශෝදරා, කිසා ගෝතමී සරච්චන්ද්‍ර, යශෝදරා සරච්චන්දු හා රංසි සරච්චන්ද්‍ර එතුමාගේ දරුවන් වේ. ලාංකීය විශ්වවිද්‍යාල කිහිපයකින්ම “සාහිත්‍ය සූර්” උපාධියෙන් පිදුම් ලද එතුමා භාරත දේශයෙන් පිරිනමන කුමාරන් අශාන් සම්මානයෙන්ද පිලිපීනයේ ” රාමෝන් මැසේ” ජාත්‍යන්තර සම්මානයෙන්ද සම්මානිතය.
සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය එදා මෙන්ම අද ද අද මෙන්ම හෙටද ලොව පුරා රාව ප්‍රතිරාව දෙනු ඇත. මනමේ, සිංහබාහු නාට්‍ය ඉංග්‍රීසි, දෙමළ මෙන්ම භාෂාවන් ගණනාවකටම පරිවර්ථනය කොට තිබීම සුවිශේෂීත්වයකි.
එතුමා විසින් රචිත මනමේ, සිංහබාහු, කදාවළලු, ප්‍රේමතෝ ජායති සෝකෝ, වෙල්ලවැහුම්, එළොව ගිහින් මෙලොව ආවා නාට්‍ය කෘතීන්ද මලගිය ඇත්තෝ, මලවුන්ගේ අවුරුදු දා ආදී කෘතීන්ද පාසල්, පිරිවෙන් විෂය නිර්දේශයන්ට මෙන්ම විශ්ව විද්‍යාල උපාධි සඳහා නිර්දිෂ්ඨ ග්‍රන්ථ වේ.
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව, ජයන්ත අරවින්ද, වසන්ත කුමාර, මිරැන්ඩා හේමලතා, සුගතපාල ද සිල්වා ආදීන් සමග නාට්‍ය වංශ කථාව ජාත්‍යන්තර වශයෙන්ද ව්‍යාප්ත කිරිමට සරච්චන්ද්‍රයන් සමත් වූහ.
දෙඅසූ වසක් ආයු විඳී මහැදුරු සරච්චන්ද්‍රයෝ 1996 වැන්නේ නිකිණි මස 16 වන දින නටුවෙන් ගිලිහී ගිය මලක් සේ අටවක අඳුරෙහි ගිලී ගියහ. ඒ අනුව අද (16) දිනට එතුමා වියෝ වී විසිනව වසරකි. එතුමන්ට නිවන් සුව ලැබේවා !
(අස්ගිරි පාර්ශ්වයේ පුත්තලම දිසාවේ ප්‍රධාන සංඝනායක කල්පිටිය අන්තර් සමුද්ද පරිවේණාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි 077-9108945)














































