කොටුව – කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනයේ නිරත සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන් කර ඇති බව වාර්තා වේ.
ගුවන් තොටුපොළ – කොටුව බස් රථ සේවක සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා සඳහන් කළේ, බස් රථ ධාවන මාර්ගයක් සංශෝධනය කිරීමට එරෙහිව වර්ජනය ක්‍රියාත්මක කළ බවයි.
කෙසේ වෙතත් ඊයේ (28) පස්වරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එළඹි එකඟතාවයට අනුව බස් රථ ධාවනය කිරීම අද (29) සිට යළි ආරම්භ කරන බව ඔහු සඳහන් කර තිබේ.
“ලසන්ත අලගියවන්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අපි සාකච්ඡාවක් ආරම්භ කළා. ඒකෙදි එතුමා කිව්වා මේ මාර්ගය සම්බන්ධ ගැටලුව දින දෙකක් ඇතුළත විසඳලා දෙන්නම් කියලා. ඇමතිතුමා කියපු නිසා අපි ඒකට එකඟවුණා. නමුත් මගී ජනතාව ගොඩක් අතරමං වෙලා. ඒ නිසා අපි දැනට වර්ජනය අතහැරලා දාලා සුපුරුදු පරිදි දින දෙකක් දුවනවා. දින දෙකක් ඇතුළත ස්ථීර විසඳුමක් නැති වුණොත් මීටත් වඩා විශාල වැඩවර්ජනයකට යනවා.”














































