මාතලේ , ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය රෝහල රැක දෙන්නයි ඉල්ලා අද (20) රෝහල ඉදිරිපිටට රැස්වූ ගම්වාසීහු විරෝධතාවයක නිතරවූහ.
අලුතින් ඉදිකරන ලද රෝහලේ පහසුකම් රැසක් තිබුණද ඒවා මෙම ගම්මානවල ජනතාවට ප්‍රයෝජනයක් ගත නොහැකි ලෙස රෝහල් පාලකයින් කටයුතු කරන බවට ජනතාව චෝදනා කරති .
පසුගිය කොරෝනා සමයේ කොරෝනා රෝගීන් සඳහා රෝහල වෙන් කර තිබීයදී රෝහලට නවීන වෛද්‍ය යන්ත්‍රඋපකරණ පවා හිමි වූ අතර මේ වන විට ඒවා දඹුල්ල සහ ගලේවෙල යන රෝහල්වලට රැගෙන යාමට සැලසුම් කර ඇතිබවටද ඔවුනට විශ්වාස කටයුතු ආරංචිමාර්ග ලැබී ඇතැයි රෝහල් කමිටුව සඳහන් කරයි.
තම ප්‍රදේශයේ පහසුකම් සහිත මෙම ප්‍රාදේශිය රෝහල මහ රෝහලක් බවට පත් කරන බවට එදා බලධාරීන් දුන් පොරොන්දු මේ වන විට බොරුවක් බවට පත්වී රෝහල වැසී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි ගම්මු පවසති
එමෙන්ම රෝහල් සේවකයින්ද විටින් විට ස්ථාන මාරුවීම් ලබා දීමෙන් රෝහල තව තවත් වැසී යාමේ තර්ජනයටම ලක්ව ඇතැයි ඔවුහු කියති.
පැය තුනකට ආසන්න කාලයක් ලග්ගල රෝහල ඉදිරිපිට වර්ජනය පැවැති අතර රෝහල් බලධාරීන් මැදිහත්ව උද්ඝෝෂකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව වර්ජනය තාවකාලිකව නැවත්වීමට පියවර ගත් බව උද්ඝෝෂකයෝ පැවසූහ.
ගම්වාසීන්ගේ චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී රෝහලේ ඉහල බලධාරියකු සඳහන් කළේ ප්‍රාදේශිය රෝහල මූලික රෝහලක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි.
එමෙන්ම කොරෝනා කාලයේදී රෝහලට ලැබුණු විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඇතැම් උපකරණ විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීමෙන් භාවිතයට නොගෙන තිබෙන බවත් වෛද්‍යවරයකු සිටියානම් එම ප්‍රශ්නය ද විසදෙන බවත් ඔහු සඳහන් කළේය. ගැමියන්ගේ ඉල්ලීම් වලට මේ වන විට ඉහලින් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව දැනගන්නට ඇතැයිද එම ප්‍රකාශකයා කීවේය.
සරත් සමරනායක














































