මේ වන විටත් පවුල් 20,000කට ලබාදී අවසන් – අමාත්‍ය රොෂාන් රණසිංහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහවැලි කලාපයේ පවුල් 15,000ක් වෙනුවෙන් ඉඩම් හිමිකම් පත්‍ර ලබාදීම මේ මස දෙවැනි සතියේ සිට ආරම්භ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
ඒ අනුව වසර 05කට වැඩි කාලයක් තිස්සේ ඉඩම් හිමිකම නොමැතිව සිටි පවුල් වෙත මෙසේ ඉඩම් ඔප්පු ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු නොමැති පවුල් 20,000කට මේ වන විටත් ඉඩම් හිමිකම ලබාදීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම අදහස් පළ කළේ , “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය,
අර්බුද රැසක් මධ්‍යයේ තමයි එදා මහවැලි අමාත්‍යාංශය භාර ගත්තේ. අමාත්‍යාංශය යටතේ පවතින ඇළ වේලි පවා ප්‍රතිසංස්කරණය කර ගැනීමටවත් මුදල් තිබුණේ නැහැ. වාරිමාර්ග අමාත්‍යාංශය මිලියන ලක්ෂයකටත් එහා ගිය දැවැන්ත වැය ශීර්ෂයක් තිබූ අමාත්‍යාංශයක්. එවැනි අවස්ථාවක ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර , මුදල් අමාත්‍යාංශයේත් සහාය ඇතිව රුපියල් මිලියන දස දහසක ණය මුදලක් ලබා ගැනීමට හැකියාව ලැබුණා.
එම මුදලින් රුපියල් මිලියන තුන්දහසක් ඇළ වේලි, වාරි පද්ධති, ජලාශ නවීකරණය කිරීමට වෙන් කළා. මේ ණය මුදල අවම වශයෙන් වසර 40ක් යන විට රජයට ගෙවන්න සිදුවෙනවා. එනිසා මේ මුදල් වැය කරමින් අවුරුදු 80ක් වත් පවතින දෙයක් කළ යුතුව තිබුණා. ඒ අනුව අදාළ මුදල් ප්‍රතිපාදනවලින් විධිමත් වැඩපිළිවෙළක් මේ විටත් ක්‍රියාත්මක කර තිබෙනවා.
මා අමාත්‍යාංශය භාර ගැනීමට පෙර සිටම මහවැලි අමාත්‍යාංශය ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් සිටියා. ඒ බව කෝප් කමිටුව හමුවේත් සාකච්ඡාවට ගනු ලැබුවා. එහිදී හෙළි වූ ඉඩම්, ඉඩම් බදු ලබාදීම් ඇතුළු ප්‍රශ්නගත කාරණා කිසිවක් මාගේ වසරක අමාත්‍ය ධූර කාලයට අදාළ නෑ. ඒවා මීට වසර 20ක සිට පවතින ප්‍රශ්න. ඒ නිසා මේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ‘ඉඩම් අයිතිය නිවසටම’ කියන වැඩසටහනක් අපි අලුතින් ආරම්භ කළා.
මෙහි පළමු අදියර යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහවැලි කලාපයේ පදිංචිකරුවන්ට ඉඩම් හිමිකම් පත්‍ර 20,000ක් ලබාදී තිබෙනවා. තවත් ඉඩම් හිමිකම් පත්‍ර 15,000ක් මේ මස දෙවැනි සතියේ සිට ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. වසර 05කට වැඩි කාලයක් තිස්සේ ඉඩම් හිමිකම් නොමැති පවුල්වලට මෙසේ ඉඩම් ඔප්පු ලබාදීමට නියමිතයි. ඇතැමුන්ට වසර 50කටත් වැඩි කාලයක් තිස්සේ ඉඩම් හිමිකම් පත්‍ර ලැබී තිබුණේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු ලබාදීමේ ක්‍රමවේදය නව වැඩපිළිවෙළකින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
( ජනාධිපති මාධ්‍ය ඒකකය )














































