ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ මැලේසියානු අඹුසැමි යුවළක් මැලේසියානු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ක්වාලාලම්පූර්හිදී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ අවුරුදු 26 සහ 37 යන වයස්වල පසුවන්නන් වන අතර මොවුන් විසින් එක් ළමයෙකු යූරෝ 30000 ත් 50000ත් අතර මුදලකට අලෙවි කර ඇති බව සඳහන්.
මෙම සැකකාර අඹුසැමි යුවළ විසින් විදේශ ගමන් බලපත්‍රය සෑදීම සඳහා තම දරුවන්ගේ උප්පැන්න සහතිකය රැගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස වයස අවුරුදු 12 සීමාවේ පසුවන ළමුන් සිටින දෙමාපියන්ව පොළබවාගෙන තිබේ. එසේ තම දරුවන් රැගෙන දෙමාපියන් පැමිණි විට එම දරුවන් වෙනුවට සම වයසේ ශ්‍රී ලාංකික දරුවන්ගේ ඡායාරූප සහ ඇඟිලි සළකුණු ගැනීමට ඉදිරිපත් කර ඇති අතර අනතුරුව විදේශ ගමන් බලපත්‍රය ලබා ගන්නා ශ්‍රී ලාංකික දරුවන් යුරෝපා රටවලට යවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දටුක් රුස්ලින් ප්‍රකාශ කර තිබේ.
මෙසේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මෙම සැකකාර යුවළ පසුගිය 12 වනදා ක්වාලාලම්පූර්හි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්‍යාලයට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා කරයි. මෙම ජාවාරම කෙතෙක් කාලයක් පවත්වාගෙන ගොස් තිබේද , දරුවන් කොපමණ සංඛ්‍යාවක් මෙලෙස ජාවරම් සඳහා යොදා ගෙන තිබේ ද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිඳු කරමින් පවතින බව සඳහන්















































