මල්වතු මහනායක හිමියන් ලෙස පෙනී සිට දුරකථන ඇමතුම් ඔස්සේ පිටරට රැකියාවලට යවනවා යැයි පවසමින් ලංකාව පුරා මහා පරිමාණයෙන් මුදල් වංචාවන් සිදු කල සැකකරුවෙකු නුවරඑළිය පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචි පිළිමතලාව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි සිරිමල් ප්‍රියන්ත නම් 51 හැවිරිදි පුද්ගලයෙකි.
සඳතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් වංචනික ලෙස රුපියල් එක් ලක්ෂ තිස් හත් දහසක මුදලක් ලබා ගත් බවට ලද පැමිණිල්ලක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ජාතික පුවත්පත්වල පළවන ඉඩම් හා දේපල විකිණීම් සම්බන්ධ දැන්වීම් අනුසාරයෙන් ධනවත් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට ඇමතුම් ලබා ගනිමින් මල්වතු මහ නායක ස්වාමින් වහන්සේ ලෙස පවසමින් හිතවත්කම් ගොඩනගාගෙන රැකියා සඳහා විදෙස්ගතවීම් සිදුකර දෙන බව පවසා සැකකරුගේ බැංකු ගිණුමට මුදල් බැර කරගෙන ඇති බවයි.
බොහෝ අවස්ථාවලදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස ද පෙනී සිට දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබාදීමටද මෙම පුද්ගලයාම කටයුතු කර තිබේ.
රැවටීම් සඳහා සැකකරු සිම්පත් 100කට ආසන්න ප්‍රමාණයක් යොදාගෙන තිබේ.
මොහු ව්‍යාජ හැදුනුම්පත් රැසක් භාවිතා කරමින් විවාහයන් කිහිපයක් ද සිදුකරගෙන තිබෙන බවත් එම විවාහයන්ගෙන් දරුවන්ද සිටින බවත් අනාවරණය වී තිබේ.
සැකකරු එළඹෙන ඔක්තෝම්බර් 12 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.