පාස්කු ඉරිදා ප්‍රහාරය පාදක කොට ගෙන බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහන පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි නිවේදනයක් නිකුත්කර ඇති බව වාර්තා වේ.
අද (06) නිකුත්කර ඇති එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.
“පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබූ කුමන්ත්‍රණය පිළිබඳවත්, ඒ හා සම්බන්ධව සිටියා යැයි කියැවෙන පුද්ගලයින් පිළිබඳවත් විමර්ශනාත්මක වාර්තා වැඩසටහනක් බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනි නාලිකාව විසින් නිෂ්පාදනය කොට ඊයේ (සැප්තැම්බර් 05) දින බ්‍රිතාන්‍යය වේලාවෙන් රාත්‍රී 11.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 03.35 ට පමණ) විකාශය කෙරුණ බව දැන් කවුරුත් දන්නා කාරණයක්.
මේ ‘මහා කුමන්ත්‍රණය’ පිළිබඳව අප රටේ විධිමත් සහ විනිවිද පෙනෙන අවංක විමර්ශනයක් සිදු කර ගැනීමට අපත්, මේ රටේ යුක්තිය සහ සාධාරණත්වය අගයන පුරවැසියනුත් මේ දක්වා දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථකව තිබූ මොහොතක, බ්‍රිතාන්‍යයේ චැනල් 4 වැනි ජාත්‍යන්තර මාධ්‍යයක් ඒ සඳහා දක්වන ලද උනන්දුව සහ වෙහෙස පිළිබඳව අපි චැනල් 4 රූපවාහිනි නාලිකාවටත්, ඒ සඳහා වෙහෙසුන සැමටත් අපගේ කෘතඥතාවය පළ කර සිටිනවා.
අප මේ රටේ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වාර්තා වැඩසටහන ඔස්සේ, හෙළිදරව් කරනු ලැබූ කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. අපට වැදගත් වන්නේ රූපවාහිනි චැනලයේ පැරණි හැසිරීම නොව එය අප මුහුණ දුන් ප්‍රශ්නය ගැන සොයා ඉදිරිපත් කරන කරුණු ය.
එම වැඩසටහන විකාශය වීමටත් පෙර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් විවිධ කරුණු කාරණා අදහස් උදහස් ප්‍රකාශ කරනු ලැබූ බව අප දුටුවා.
ඒ අතර මනුෂ නානායක්කාර ඇමැතිවරයා කියා සිටියේ මේ වැඩසටහනින් හෙළිදරව් කරනු ලැබූ කරුණු පිළිබඳව විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පිහිටුවන බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ දා සිට මේ දක්වා මේ පිළිබඳ විමර්ශන කොමිෂන් සභා දෙකක් සහ වත්මන් ජනාධිපතිතුමා අගමැති ලෙස කටයුතු කළ අවධියේදී පාර්ලිමේන්තු කමිටුවක් පත් කළද, ඒවායේ වාර්තා සහ ඒ වාර්තා මගින් නිර්දේශ ගණනාවක් ද ඉදිරිපත් වුවද ඒ කිසිවෙකින් මේ දක්වාම බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු බව රට ම දනී. දැන් පවතින මෙන්ම මීට පෙර පැවති රජයද මේ නිගමනවලට දැක්වූයේ ඉතා උදාසීන ප්‍රතිචාරයකි.
ඒ නිසා මේ සඳහා පාර්ලිමේන්තුව විසින් පත් කරන තවත් කමිටුවකින් ද, මේ විමර්ශන අපක්ෂපාතීව සහ අවංකව සිදුවෙතැයි අපි කිසිදු ලෙසකින් නො සිතමු. එහෙයින් එවැනි පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීම ජනතා මුදල් සහ කාලය නාස්ති කෙරෙන සහ ජනතාව මුලා කරන නිෂ්ඵල ක්‍රියාවක් වනු ඇති බව අපට විශ්වාස නිසා අපි එම යෝජනාව පිළි නොගනිමු.
එහෙයින් කඩිනමින් සිදු විය යුතු ක්‍රියාවලිය වන්නේ,
- චැනල් 4 නාලිකාව සිය වාර්තා වැඩසටහනින් හෙළිදරව් කරන ලද, පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස තිබුණා යැයි කියන කුමන්ත්‍රණය හා බැඳුන සියලු වැදගත් කරුණු මෙන් ම ඒ හා සම්බන්ධ යැයි හෙළිදරව් කර ඇති පුද්ගලයින් පිළිබඳව මෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ දක්වා සිදුකර ඇති විමර්ශන සහ කොමිෂන් සභා වාර්තා වලින් හෙළිදරව් වූ, නමුත්, මේ දක්වා නිසි විමර්ශනයට ලක් නොවූ කරුණු පිළිබඳව ද අපක්ෂපාතී, සාධාරණ සහ විනිවිද බවින් යුතු පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතු ය.
- එම විමර්ශනය සිදුවිය යුත්තේ ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් මගිනි.
- එම ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමට සහය වීම සඳහා පත් කරනු ලබන දේශීය විමර්ශන කණ්ඩායමට, පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ මොහොතේ සිට මූලික විමර්ශන සිදුකරන ලද, දැනට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විවිධ ප්‍රදේශවලට මාරුවීම් ලබා දී තිබෙන විමර්ශකයින් සියලු දෙනා ඇතුළත් විය යුතුය.
- එම විමර්ශනය ස්වාධීනව සිදුකිරීමට අවකාශය සැලසීම සඳහා මේ විමර්ශනයට ලක්වන, දැනටමත් බුද්ධි අංශවල මෙන්ම පොලිසියේ ඉහළ නිළතල හොබවන, සියලු නිළධාරීන්ගේ සේවය විමර්ශන නිමාවන තුරු අත්හිටවිය යුතුය.
එසේම, පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීම අරබයා තම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබූ නමුත්, තවමත්, ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අංශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහත්මාගේ සහ ඒ පිළිබඳ චෝදනාවට ලක්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහත්මාගේ ද සේවය මෙම විමර්ශනය නිමා වන තුරු අත්හිටවිය යුතුය.
ඉහත කී අපගේ යෝජනා ජනාධිපතිතුමන් ඇතුළු මේ රජය ඉටු කරනු ඇතැයි අපි අවංකව අපේක්ෂා කරමු. මෙම ක්‍රියාවලිය ඔස්සේ සිදුවන සාධාරණ සහ විනිවිද පෙනෙන විමර්ශනයකින් හැර වෙනත් ආකාරයකින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින් බවට පත් වූ අහිංසක ජනතාවට යුක්තිය සහ සාධාරණය ඉටු නොවන බව අපි අවධාරණය කර සිටිමු.
මේ අවස්ථාවේදී පොලිසියේ සහ බුද්ධි අංශවල මෙන්ම ආරක්ෂක අංශවල අදාළ නිලධාරීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔවුන් ඇතැම්, මේතාක් හෙළි නොවුණ නිශ්චිත කරුණු දැන සිටීනම් ධෛර්්‍යවන්තව ඒවා එළිදරව් කරමින් සත්‍යයට සාක්ෂි දරන්නට ඉදිරිපත් වන ලෙසය.
අපගේ දේවස්ථාන භාර සියලුම පියතුමන්ගෙන් අප ඉල්ලා සිටින්නේ දෙව් මවුන්ගේ උපන් මංගල්‍යය සිදුකරන සැප්තැම්බර් 8 වෙනිදා සිකුරාදා දින සියලුම දේවස්ථානවල සවස 6.30 ට පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් විශේෂාකාරයෙන් දෙව් මවුන්ගේ පිහිට පතන ලෙස ය.
මේ සඳහා කොළඹ සහයක රදගුරු අති උතුම් ජේ.ඩි. ඇන්තනි හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදින සවස 6.30 ට කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදීත්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් මෙහෙයවන විශේෂ දේව මෙහෙය එදිනම සවස 6.30 ට කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදීත් පැවැත්වෙන බව මෙයින් දැනුම් දෙමි.
එම දේව මෙහෙය තුළ දිව්‍ය පූජාව හෝ ශුද්ධවූ ජපමාලය උච්චාරණය කිරීම සහ දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය ලබා දෙමින් ජනතාව ආසිරි ගැන්වීම සිදුවන බව දන්වා සිටිමි.
මේ සඳහා සහභාගී වන ලෙස අප ඉතා ඕනෑකමින් අපි සියලුම කතෝලික සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිමු.
මැල්කම් කාදිනල් රංජිත්
කොළඹ අගරදගුරු හිමි