පෙදරේරුවකු ලෙස සේවය කිරීම සඳහා සංචාරක වීසා මඟින් ඕමානයට ගිය අයෙකු එරට දී අමානුෂික වධ හිංසනයට ලක් ව සිටිය දී එරට තානාපති කාර්යාලය විසින් මුදාගෙන මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කර තිබෙන බව වාර්තා වේ.
ඒ ඕමානයට ගිය තම සැමියා එරට දී විවිධ වධ හිංසනයන්ට ලක්වන බව එම පුද්ගලයාගේ බිරිඳ විසින් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි.
එම පැමිණිල්ල සිදු කිරීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වූ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් මේ පිළිබඳව ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යලයේ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඕමාන තානාපති කාර්යාලයේ නිලධාරීන් මැදිහත් වී පෙදරේරුවා ඉකුත් 07 වැනිදා මෙරටට එවීමට කටයුතු කර තිබේ.
එමෙන්ම මෙම පෙදරේරුවා සංචාරක වීසා මඟින් ඕමානයට යැවූ බව කියන මතුගම – නවුත්තුඩුව පදිංචිකරුවකු ද විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මොහු එම පෙදරේරුවා ඕමානයට යැවීම සඳහා රුපියල් 7,50,000ක මුදලක් අය කර ඇති බව ද විමර්ශනවල දී හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වේ.














































