මව විදෙස්ගතවීම සහ පියා සිරගතවීම හේතුවෙන් අසරණභාවයට පත්ව සිටින කුරුණෑගල පහළ ගිරිබාව ප්‍රදේශයේ දරුවන් තිදෙනාගේ මව හෙට (10) අලුයම මෙරටට පැමිණීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
මෙම සිදුවීම පිළිබඳව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාරගේ අවධානය යොමුවීමෙන් අනතුරුව එම කාන්තාව මෙරටට කඩිනමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව, එම කාර්‍යංශයේ වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු විසින් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ කම්කරු සුබසාධන අංශයේ නිලධාරීන්ට මෙම සිදුවීම පිළිබඳ සොයාබලන ලෙස දන්වා ඇති අතර එම ප්‍රදේශයේ සංවර්ධන නිලධාරීවරයාද මෙම දරුවන් වාසය කරන නිවසට ගොස් කරුණු සොයාබලා තිබේ.
මෙම කාන්තාව මීට පෙරද ඕමානයේ රැකියාවක් සඳහා ගොස් ඇති අතර, ඇයගේ සැමියා කරන ලද පැමිණිල්ලක් අනුව වලංගු කාලය නිම වීමට පෙර කාර්‍යංශය මැදිහත් වී ඇයව මෙරටට ගෙන්වාගෙන ඇතැයි වාර්තා වේ.
ඒ අනුව, මෙවැනි සිදුවීම් සැළකිල්ලට ගනිමින් මව්වරුන් රැකියා සඳහා විදේශගතවීමේදී, සිය දරුවන්ගේ රැකවරණය පිළිබදව වර්තාවක් අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා මඟින් කාර්‍ය්ංශය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්‍ය කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.














































