හෙද පුහුණුවට බඳවාගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ ලබන ජනවාරි මස 13 වැනිදා සිට පෙබරවාරි 18 වැනිදා දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මෙරට රජයේ රෝහල්වල රෝගී සත්කාර හා ප්‍රතිකාර සේවාවන් වඩාත් ගුණාත්මකව හා විධිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාමට මානව සම්පත සංවර්ධනය කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රමවේදයන් පිළිබඳ සොයා බැලීම උදෙසා විශේෂ සාකච්ජාවක් පසුගියදා සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්වූ බව වාර්තා වේ.
මෙහිදී හෙද කාර්ය මණ්ඩල ධාරිතාවය වැඩි කිරීම සඳහා අයදුම්පත් යොමු කළ හෙද අපේක්ෂකයින්ගේ සම්මුඛ පරීක්ෂණ කඩිනමින් පවත්වා ඔවුන් හෙද පුහුණුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය ඇමතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව 2019/2020 අ.පො.ස. උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශ වලින් සමත්වී හෙද පුහුණුව සඳහා අයදුම් කළ පිරිස උදෙසා සිසු හෙද පුහුණුවට තෝරා ගැනීමට මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය 2024 ජනවාරි 13 වැනිදා සිට පෙබරවාරි මස 18 වැනිදා දක්වා පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබේ.
 
	    	



























 
		    
















