එන්නත් විෂ වීමෙන් බවට මේ වන විට චෝදනා එල්ල වන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිදු වූ තුන්වැනි මරණයත් සමඟ අද පෙරවරුවේ එම රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට තිබූ බව එහි භාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙකු පැවැසීය .
වෙනත් දින වල එක් දහස් පන්සියයකට වඩා රෝගීන් පැමිණෙන නමුත් අද එම ප්‍රමාණය තුන් සියයකත් වඩා අඩු වූ බව ඔහු පැවැසීය .
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී මීට පෙර සිදු වූ මරණ දෙක ද එන්නත් විෂ වීමෙන් සිදු වූ බවට පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වීම හේතුවෙන් ජනතාව රෝහලට පැමිණ ප්‍රතිකාර ලබා ගැනීමට බිය පල කිරීම ඊට හේතුව බව එම වෛද්‍ය වරයා පැවැසීය .
උදරාබාධ තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි 20 හැවිරිදි තරුණිය මිය යාම ගැන පේරාදෙණිය රෝහලෙන් කරුණු විමසා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂ විමර්ශනක් ආරම්භ ඇති බව වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිළ ප්‍රකාශයක් ඔවුන් සිදු කර නොමැත .
මියගිය තරුණියට රෝහලේදී එන්නත් දෙකක් ලබා දී ඇති අතර, ඉන්පසු ඇති වූ සංකූලතා හේතුවෙන් තරුණිය මියගිය බව පවුලේ ඥාතීන් සදහන් කරයි.
මෙම මරණය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් පේරාදෙණි පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇත.
( සරත් සමරනායක )














































