කොටවිල , මැදකොටවිල උප තැපැල් කාර්‍යාලයේ ස්ථානාධිපතිනියගේ මුදල් පසුම්බිය පැහැර ගැනීමට පැමිණි නාදුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ මිරිස් කුඩු ප්‍රහාරයෙන් ස්ථානාධිපතිනිය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.
මුහුණු ආවරණය කර ගෙන යතුරුපැදියකින් පැමිණි සැකකරු කිසියම් කාරණයක් විමසීමට යන මුවාවෙන් ස්ථානාධිපතිනිය හමුවීමට පැමිණ තිබේ. එම අවස්ථාවේදී ස්ථානාධිපතිනියගේ මුහුණට මිරිස් කුඩු ගසා ඇයගේ මුදල් පසුම්බිය පැහැරගෙන යාමට තැත් කළ ද , ස්ථානාධිපතිනියගේ දක්ෂතාවයෙන් සැකකරු සමඟ පොර බැඳ තම මුදල් පසුම්බිය රැක ගැනීමට සමත්ව තිබේ. පසුව සැකකරු යතුරුපැදියකින් පලා ගොස් තිබේ.
එහි රුපියල් හැට දහසකට ආසන්න මුදලක් පැවති බව සඳහන් වේ.
එල්ල වූ මිරිස් කුඩු ප්‍රහාරයෙන් , ප්‍රතිකාර සඳහා ස්ථානාධිපතිනිය මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කොටවිල පොලිසිය මඟින් සිදු කරන බව වාර්තා වේ.














































