වැලිමැස්සා දෂ්ඨ කිරීම හේතුවෙන් වැළඳෙන “ලිෂ්මනයිසීස්” නැමැති චර්ම රෝගය සහිත රෝගීන් දිවයිනේ පළාත් කිහිපයකින් බහුලව වාර්තා වන බවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සමේ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජ්.එච්.ඩී.ජනප්‍රිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු පෙන්වා දෙන්නේ උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණ යන පළාත්වලින් එම රෝගීන් බහුල වශයෙන් වාර්තා වන බවයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ජ්.එච්.ඩී.ජනප්‍රිය,
“ලිෂ්මනයිසීස් රෝගය දැනට ලංකාවේ ඉතාම සුලබ රෝගයක් වෙලා. උතුරු මැද පළාත, උතුරු පළාත, වයඹ පළාත, දකුණු පළාත ඒ වගේම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ඉතාමත් බහුලව දැනට රෝගීන් වාර්තා වෙනවා. එහිදී රෝග වාහකයා වශයෙන් කටයුතු කරන වැලිමැස්සා කියන මි.මී 2 – 4ක පමණ දිගින් යුතු ළා දුඹුරු පාට රෝම සහිත ඉතා කුඩා මැසි වර්ගයක්. වැලි මැස්සා සන්ධ්‍යා කාලයේ සහ අලුයම් කාලයේ ඉතාම ක්‍රියාශීලි වෙනවා. මිනිසුන් අනපේක්ෂිත වශයෙන් මෙම සතාගේ ගොදුරු බවට පත්වෙනවා එම කාලසීමාව තුළ දී. රෝග ලක්ෂණ විදියට මතුවෙන්නේ ප්‍රධාන වශයෙන්ම හමේ පාට සහිත හෝ ළා රතුපාට, හමේ ගැටිත්තක්, ඉස්සුනු පැල්ලමක් හෝ ලොකු තුවාලයක් වශයෙන් දැනෙනවා. ප්‍රධාන වශයෙන් ශරීරයේ නිරාවරණය වූ තැන්වල තමා සුලබව දක්නට ලැබෙන්නේ. අනුරාධපුර නම් සෑම සායනයකටම දිනකට රෝගීන් 10ක් වගේ අලුතින් එනවා. නිසි ප්‍රතිකාර කරලා සුවපත් කරනවා.”














































