ලෝකවාසී ජනතාවගේ ඉහළම පැසසුමට ලක්වන ගණනය කළ නොහැකි නැරඹුම්වාර ප්‍රමාණයකට හිමිකම් කියන ලොව පවත්වන උසස්ම සංස්කෘතික මංගල්‍යයක් සේ සැළකෙන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යය මෙවරද සාර්ථකව පැවැත්වීම සදහා මේ දිනවල මහනුවර සූදානම් වේ.
ශ්‍රී දළදා මාළිගාවේ තැන්පත් කර ඇති බුදුන් වහන්සේගේ වාම දන්ත ධාතුවට උපහාර පිදීම උදෙසා සියවස් ගණනාවක් පුරා චිරාගත සම්ප්‍රදායානුකූලව සෑම වසරකම උසස් වශයෙන් සැළකෙන මංගල්‍යය වෙනුවෙන් මහනුවර සූදානම් කිරීමේ කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදුකෙරෙමින් පවතී. මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අනුශාසනා මැද ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතාගෙ උපදෙස් හා මෙහෙයවීම යටතේ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ ප්‍රමුඛ සිව් මහා දේවාල වල බස්නායක නිළමේවරුන් , මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ , දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් මෙම කටයුත්තට දායකත්වය ලබාදෙයි. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මෙම රාජ්‍ය මංගල්‍යය සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, මධ්‍යම පළාත් සභාව ඇතුළු රාජ්‍ය ආයතන, මහනුවර වෙළඳ ප්‍රජාව, සිවිල් සංවිධාන, ස්වේච්ඡා සංවිධාන ඇතුළු අංශ රැසක දායකත්වය මේ සදහා හිමි වේ.
ඡායාරූපයෙන් දැක්වෙන්නෙ මෙවර ඇසල පෙරහැරේ නියමිත දළදා මාළිගාවේ ඇත් පන්තියේ අලි ඇතුන් රදවා තිබෙන ඇත්ගාලේ සැකසූ තටාකයේ ඇතුන් නාවා පිරිසිදු කරන ආකාරයයි.
සරත් සමරනායක














































