අද (29) දිනයේ ලබා දුන් උතුරු මැද පළාතේ 11 වන ශ්‍රේණියේ වාර විභාගයේ ඉතිහාසය විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය මීට දින හතරකට පෙර පිට වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා ගුරු සංගමය විසින් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාව දැනුවත් කර ඇති බව වාර්තා වේ.
දිඹුලාගල , අනුරාධපුර , පොළොන්නරුව යන අධ්‍යාපන කලාපවල උපකාරක පන්තිවල ගුරුවරුන් විසින් ළමුන්ගෙන් රුපියල් 1000ක මුදලක් අය කොට ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කර ඇති බවත් ඇතැම් ගුරුවරුන් රුපියල් 500 ක මුදලකට වට්ස්ඇප් හරහා බෙදා හැර ඇති බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර , පොළොන්නරුව පාසල් හයක විදුහල්පතිවරුන් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට පැමිණිලි කළ බවද සඳහන්.
ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා අදහස් දක්වමින් ,
“ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදා හැරීම සිදු කරන පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වගකීම වන්නේ එම ප්‍රශ්න පත්‍රවල රහස්‍යභාවය රැකීමයි.මේ පිළිබදව පොලීසියට පැමිණිලි කළ යුත්තේ අපි නෙමේ.පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවයි.මෙවර වාර විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රය ද පිට වී ඇති බවට තොරතුරු තියෙනවා.මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කඩිනමින් පරීක්ෂණයක් සිදු කර මෙවැනි කටයුතු දිගින් දිගටම සිදුවීම වැලැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.”
සබරගමු පළාතේ ද වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමක් සම්බන්ධයෙන් මිට පෙර ද අප විසින් වාර්තා කරන ලදී.













































