මාතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ අමතක වී දමා ගොස් තිබූ රුපියල් ලක්ෂ 50 කට අධික රන් භාණ්ඩ ඇතුළු දේපල තොගයක් අඩංගු බෑගයක් දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන්ට හමුවී එහි අයිතිකරුවන් සොයා භාරදීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
මහනුවර , කටුගස්තොට , ගුහාගොඩ පදිංචි ලක්සිරි සම්පත් යන අය හා ඔහුගේ බිරිඳ වන හිරුණි නිමාෂා යන අයට අයත් මෙම බෑගය දුම්රියේ අමතකව ගොස් තිබුණි. හිරුණිගේ ගම මාතර , පාලටුව , අත්තුඩාව වන අතර ඇය තම සැමියා සමඟ මහනුවර සිට තම මහගෙදර ගොස් එහි සිට නැවත මහනුවරට පැමිණ තිබුණේ රුහුණු කුමාරි දුම්රියේය.
මෙම ගමන සඳහා බිරිඳගේ මව හා පියා ද සහභාගි වී සිට ඇති අතර මොවුන් සතුව තිබූ ගමන් බෑග් කීපයක් දුම්රියේ වාඩිවී සිටි තැන අසුන යට තබා තිබී ඇත. මෙම පිරිස කොටුවෙන් බැසීමේ දී අදාළ බෑගය ඔවුන්ට ගැනීමට අමතකව තිබේ. කොටුවට පැමිණි රුහුණු කුමාරි දුම්රිය මාලිගාවත්ත අංගනයට දැමීමට පෙර පරික්ෂා කිරීමේ දී මාතර දුම්රිය ආරක්ෂක නිලධාරි කාර්යාලයේ ආරක්ෂක 91216 ඒ.කේ. ලංකානන්ද සහ 91272 එල්.ඩී ප්‍රියංකර යන දෙදෙනාට මෙම බෑගය හමුවී මාලිගාවත්ත දුම්රිය ආරක්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙන බව සඳහන් වේ.
අදාළ බෑගය තුළ පවුම් 3 ක රන් මාලයක් , අත් පළඳනාවක් ඇතුළු රන් භාණ්ඩ , රුපියල් ලක්ෂයක් වටිනා ඇපල් වර්ගයේ අයිෆෝනයක් , රුපියල් ලක්ෂ 35 ක ඉතුරුම් සහතිකයක් , බැංකු පොත් , මෝටර් රථයේ යතුර සහ හැඳුනුම්පත් ඇතුළු දේපල රැසක් තිබී ඇත.














































