මෙරට දෛනිකව වාර්තාවන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු පෙන්වා දෙන්නේ දෛනිකව හෘද රෝගීන් 170ක් පමණ මේ වන විට වාර්තා වන බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ.
“ලංකාවේ හෘද රෝග සෑදෙන ප්‍රමාණය පසුගිය අවුරුදු 10 ඇතුළත සීඝ්‍ර වැඩිවීමක් තියෙනවා. දවසකට හාට් ඇටෑක් 166 – 170ක් වගේ දෙනෙකුට හැදෙනවා. ඒක තමයි දැනට තියෙන දත්ත අනුව අපිට පෙන්නුම් කරන්නේ. මේ එන ගාන ඇත්තෙන්ම පසුගිය අවුරුදු කිහිපය ඇතුළත එන්න එන්නම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ වැඩිවීම බොහෝ විට අපිට දකින්නට ලැබෙනවා. එදිනෙදා රෝගීන් පරීක්ෂා කරන කොට. ඒ වගේම අපි ළඟ දත්ත තියෙනවා බස්නාහිර පළාතේ හාට් ඇටෑක් සංඛ්‍යාව. ඒ දත්ත දිහා බලද්දි අපිට පේනවා පසුගිය අවුරුදු කිහිපය තුළ හෘද රෝග වැඩිවීමේ ප්‍රවණතාවය.”
හෘද රෝගීන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව ආහාර රටාවේ පවතින අඩුපාඩු බවද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.
“හාට් ඇටෑක් වැඩිවෙලා තියෙන්නේ, අපේ ජීවන රටාව නිසා. අපේ ජීවන රටාවේ වෙනස් වීම නිසා. විශේෂයෙන්ම අපි භාවිත කරන ආහාර. ආහාරවල ලොකු වෙනසක් තියෙනවා. ඒවා පසුගිය අවුරුදු කිහිපය ඇතුළත සීඝ්‍ර වෙනස්වීමක් තියෙනවා. අපි කන බොන විදිය, අපේ ජීවන රටාව විශාල වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස තමා ඇත්තෙන්ම ස්ථීර වශයෙන්ම මම කියනවා මේ හාට් ඇටෑක් ලංකාව ඇතුළේ වැඩිවීමට හේතුව. විශේෂයෙන්ම ගත්තොත් අපි කන ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය ඉතාම වැඩියි. එක පුද්ගලයෙක් ලංකාවේ කිලෝ 30ක් පමණ වසරකට සීනි භාවිත කරනවා. අනිත් එක තමා අපි වැඩියෙන්ම ආහාරවලට තෙල් පාවිච්චි කරනවා. අපි කන ආහාරවල වැඩියෙන්ම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ ආහාර රටාව තමා ප්‍රධාන වශයෙන් බලපාන්නේ.”














































