අස්වැසුම සංවර්ධන වැඩසටහනට අයත් කාර්යයන් වලින් ඉවත් වී ඇති අවස්ථාවක එම කාර්‍යයන් බලහත්කාරයෙන් සිදු කර ගැනීමට උත්සාහ කරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් , වෙනත් නිලධාරීන්ට පැවරී ඇති රාජකාරීන් සිදු කිරීමට තම සංගමයේ නිලධාරීන් බැඳී නොමැති බවත් සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම අස්වැසුම සංවර්ධන වැඩසටහනේ රාජකාරී කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරුන්ට විවිධ බලපෑම් එල්ල වන බවත් , අඛණ්ඩව මෙවැනි බලපෑම් එල්ල වන්නේ නම් සාමාන්‍ය රාජකාරීවලින් ඉවත් වීමට පියවර ගන්නා බවත් ඔහු සඳහන් කර තිබේ .
වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා ,
” අස්වැසුම ක්‍රියාවලිය කියන්නේ සමෘද්ධි වැඩසටහනම තමා . සමෘද්ධි වැඩසටහන කරන්න සමෘද්ධි නිලධාරියෙක් 1994 ඉඳලා පත්වෙලා ඉන්නවා. එතකොට ඒ නිලධාරියාගේ කාර්යය තමා මේ ග්‍රාම නිලධාරීවරයාගේ ඇඟේ ගහන්න හදන්නේ . අපි කියන්නේ වෙනත් නිලධාරීන්ගේ රාජකාරි කරන්න අපි බැඳිලා නෑ. සමෘද්ධි නිලධාරියා වෘත්තිය ක්‍රියාමාර්ගයක් අරන් ඉවත් වෙලා ඉන්නකොට ඒගොල්ලොන්ට කිසිම බලපෑමක් මේ වගේ කරන්නේ නෑ. ඒ සමෘද්ධි නිලධාරියාව ආරක්ෂාව කරනවා . සමෘද්ධි නිලධාරී සංගමයේ සභාපතිවරයා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් වශයෙන් ග්‍රාම නිලධාරීවරුන් රකින්න අමාත්‍යාංශයේ ලේකම්වරයාත් නෑ. ප්‍රාදේශීය ලේකම්වරයාත් නෑ. දිසාපතිලත් නෑ. ග්‍රාම නිලධාරීන්ට යාචකයෝ වගේ පවරන හැම වැඩ රාජකාරියක්ම කරන්න වෙලා තියෙනවා . මේ ආකාරයට බලහත්කාරකම් කරලා ඒ අස්වැසුම වැඩසටහන කරගෙන යන්න උත්සාහ කරනවා නම් ඉදිරියේදී ග්‍රාම නිලධාරීන් කරන ව්‍යවස්ථාපිත හා සියලුම රාජකාරීවලින් ඉවත් වෙන්න වෙනවා “














































