කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි හස්තියෙකුට වස මිශ්‍රිත පලතුරු ලබාදීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙක් කතරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කර තිබේ.
පසුගිය 19 වන දින කතරගම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක රැඳී සිටි “අසේල” නැමැති හස්තියෙකුට පලතුරු ලබාදීමෙන් අනතුරුව එම හස්තියාගේ මුඛයෙන් ශ්ලේස්ම ගලාවිත් තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඇත්ගොව්වා විසින් අදාළ පාර්ශව වෙත දැනුම් දීමෙන් පසු පශු වෛද්‍ය නිලධාරීන් විසින් හස්තියාට ප්‍රතිකාර ලබාදී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් හස්තියා පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශු වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ වස මිශ්‍රිත යමක් හස්තියා ආහාරයට ගෙන ඇති නමුත් එම විෂ ශරීරය පුරා පැතිර ගොස් නොමැති බවයි.
අනතුරුව ඇත්ගොව්වා විසින් සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එහිදී සිදුකළ විමර්ශනවලින් අනතුරුව එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ මීට පෙර හස්තියා රැකබලා ගත් ඇත්ගොව්වා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත කොමඩු ගෙඩියකට වස මිශ්‍රකර හස්තියාට ලබාදුන් බවයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මීට පෙර හස්තියා රැකබලා ගත් ඇත්ගොව්වා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.














































