විනාශ වෙමින් පවතින තම ගොවිතැන් කටයුතු වෙනුවෙන් ජලය ඉල්ලා මේ වන විට සමනල වැව ජලාශයේ ප්‍රවේශ දොරටුව අභියස උද්ඝෝෂණයක් පැවැත්වේ. එයට සහභාගී වී සිටින්නේ ඇඹිලිපිටිය වලව ගොවි ජනතාවයි.
ඔවුන් ඉල්ලා සිටින්නේ බලධාරියෙකු සමඟ සාකච්ඡා කර මෙම ප්‍රශ්නයට විසදුම් ලබා දෙන ලෙසයි. එමෙන්ම පොලිසිය සහ සාමාන්‍ය ජනතාව අතර වරින් වර උණුසුම් තත්ත්වයන් ද ඇති වෙමින් තිබේ.
ඒ අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් සාමාන්‍ය ජනතාවට පහර දීමක්ද සිදුව තිබේ. එම පහර දීම සිදු කළේ කවුද සහ එම අවස්ථාව කුමක් ද යන්න පිළිබඳව අදාළ වීඩියෝ දර්ශන ලැබුණු වහාම එය සටහන් තැබීමට කටයුතු කරනු ලැබේ.
කෙසේ නමුත් ඔවුන් ඉල්ලා සිටින මෙම සහනදායී සාමකාමීත්වය ලබාදිය හැකි නම් එය ලබා දීම සඳහා අතිගරු ජනාධිපතිතුමා අනිවාර්යෙන්ම මැදිහත් විය යුතුව තිබේ. එයට හේතුව නම්, විවිධ ඇමතිවරු විවිධ ප්‍රකාශ කරමින් ජනතාව කෝප ගන්වමින් සිටින බැවිනි . එසේම රාජ්‍ය නිලධාරීන් ලෙස ද කළ යුතු දේ නොකර හරින්නේ නම් එයට විරුද්ධවද මැදිහත් වීම සඳහා ජනාධිපතිවරයා සතුව අසීමිත බලයක් තිබේ.
එය එසේ නොවුණහොත් ජනාධිපතිවරයාටත් උඩින් ගොස් මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ සේ වතුර ඉල්ලා හැඬූ රතුපස්වල ජනතාවට එල්ල කළ දැවැන්ත ම්ලේච්ඡ ප්‍රහාරය හා සමාන ප්‍රහාරයක් ආරක්ෂක අංශ විසින් එල්ල කිරීමටද හැකියාවක් තිබෙන බව මේ වන විට ලැබී තිබෙන වීඩියෝ දර්ශනවලින් මනාව පැහැදිලි වේ.
එබැවින් මේ ආකාරයෙන් ගැටුමක් ඇති වීමට ඉඩ නොතබා සහ ජනාධිපතිවරයා අපකීර්තියට පත් කිරීම සඳහා යම් යම් නිලධාරීන් හෝ ආරක්ෂක නිලධාරීන් කටයුතු කරන්නේ නම් එයට ද ඉඩ නොතැබීමට සාගල රත්නායක මහතා ප්‍රමුඛ ජනාධිපති හිතයිශී කණ්ඩායම් හෝ එකතුව , එක්ව , මැදිහත්ව මෙය විසඳිය යුතුව තිබේ.














































