ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් දැනුම් දී ඇත්තේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ඇතැම් ටින් මාළුවල SLS සහිත ප්‍රමිති ලාංඡනය නොමැති බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කර ඇති බවයි.
එම ආයතනය විසින් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ SLS ප්‍රමිති ලාංඡනය නොමැතිව ලංකාවේ නිෂ්පාදිත ටින් මාළු සම්බන්ධයෙන් පැමිණිලි, තොරතුරු පවතී නම් පාරිභෝගික කටයුතු අධිකාරියට යොමුකරන ලෙස හා එම සහතිකය ඇති ටින් මාළුවල ප්‍රමිතිය පිළිබඳ ගැටළු ඇත්නම් එම පැමිණිලි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත යොමු කරන ලෙසයි.
එම ආයතනය පවසන පරිදි මේ වනවිට දේශීය ටින් මාළු නිෂ්පාදන ආයතන 12කට අයත් වෙළෙඳ නාම 33ක් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ඊට අදාළ සහතික නිකුත් කර ඇති බවයි.
තවද ආනයනික ටින් මාළු සදහාද SLS සහතිකය අනිවාර්ය නොවුනද එම භාණ්ඩ රේගුවෙන් නිදහස් කිරීමට පෙර නිසි ප්‍රමිතියෙන් තිබේදැයි පරික්ෂාවකට යොමු කරන බව සදහන් කොට ඇති බව වාර්තා වේ.














































