සංචාරකයින් පිරිසක් රැගත් බස්රථයක් අද (29) අලුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙන අතර අනතුරින් සංචාරකයින් දෙදෙනෙක් සුළු තුවාල ලබා ඇතැයි වාර්තා වේ .
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන්තොටුපළ දක්වා සංචාරකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් සහ අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රියකි.
වාර්තා වන ආකාරයට චෙක් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත සංචාරකයින් පිරිසක් එක් හෝටලයකින් රැගෙන තවත් හෝටලයක සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යාමට යමින් සිටියදී අනතුර සිදුව ඇති අතර අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පස්වරු 9ට පිටත්වීමට නියමිත ගුවන් යානයකට රැගෙන යන සංචාරකයින් පිරිසකි.
අනතුරෙන් බස් රථයේ පිටුපස කොටසට දැඩි හානි සිදුව ඇති අතර දුම්රියටද හානි සිදුව තිබේ .
එමෙන්ම දුම්රිය රියදුරුගේ ඇසට සිදු වූ සුළු තුවාල හේතුවෙන් ඔහුව කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලබා ඇති සංචාරකයින් සඳහා සුවසැරිය ගිලන් රථයෙන් ප්‍රතිකාර ලබා දී ඇති අතර, අනතුරට පත් දුම්රියේ සිටි මගීන් මරදාන බලා ධාවනය වන වෙනත් දුම්රියකින් ඔවුන්ගේ ගමනාන්ත සැලසීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ .














































