කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් විදෙස් කාන්තාවකගේ ගමන් බෑගයක් අස්ථානගතවීම සම්බන්ධයෙන් අදාළ කාන්තාව විසින් හැටන් මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ .
මෙලෙස ගමන් බෑගය අස්ථානගත වී ඇත්තේ ස්පාඤ්ඤයේ සිට පැමිණි 22 හැවිරිදි මරියානා සංකෝශ් නැමැති විදෙස් කතකගේය.
ඇය විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ තමා 19 වන දින කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගමන් කරමින් සිටියදී තම බෑගය අස්ථානගත වූ බවත් , එම බෑගය තුළ අංක සී.බී.(CB) 693407 දරණ විදෙස් ගමන් බල පත්‍රය , ජංගම දුරකථන දෙකක් , ක්‍රෙඩිට් කාඩ් දෙකක් සහ රුපියල් 28,000 ක මුදලක් තිබූ බවත් ය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවත් , ගමන් බෑගයට සිදු වූයේ කුමක් ද යන්න මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් ,ඒ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බවත් හැටන් පොලිස් ස්ථානයේ නිලධාරීවරයෙකු ප්‍රකාශ කර තිබේ .














































