ඉදිරියේ දී ඉන්ධන ගෑස් හෝ විදුලි ගාස්තු තවදුරටත් ඉහළ ගියහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වන බවට සමස්ත ලංකා බේකරි හිමියන් ගේ සංගමය පවසා ඇති බව වාර්තා වේ.
එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ, ඊයේ (20) සිදු කළ විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදු නොකළ ද මේ වන විට අධික පිරිවැය හේතුවෙන් බේකරි කර්මාන්තකරුවන් දැඩි දුෂ්කරතාවට පත් ව සිටින බවයි.
”අපි සාමාන්‍යයෙන් මිල වැඩි කිරීමක් කරන්නේ, ලංකාවේ තිරිඟු පිටි මිල වැඩි වුණොත් පමණයි. තිරිඟු පිටි මිලේ කිසිම වෙනසක් වුණේ නැහැ. නමුත් මේ කර්මාන්තයට අවශ්‍ය කරන සියලුම දේවල්වල මිල ඉහළ යනවා. දෙසැරයක් ගෑස් මිල වැඩි වුණා. ඉන්ධන මිල දෙපාරක් විතර වැඩි වුණා. විදුලි බිල සියයට 200කින් විතර වැඩි වෙලා තියෙනවා. දැන් තුන් වැනි පාරටත් ඊයේ විදුලි බිල වැඩි වෙලා තියෙනවා. නමුත් අපි කිසිම වැඩි කිරීමක් සිදු කළේ නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ බදු ප්‍රතිපත්තිය ඉතාමත්ම අසාධාණ ලෙස බේකරි හිමියන්ට බලපාලා තියෙනවා. පාන්ගෙඩියට සියයට දෙකහමාරක් ගෙවන්න ඕනේ. පාන් හැර සියලුම බේකරි නිෂ්පාදනවලට සියයට 17.5ක් ගෙවන්න ඕනේ. ආණ්ඩුවට මේ ගෙවීම කීයටවත් සිදු කරන්න බැහැ. මේ ගෙවීම කළොත් මේ බේකරි පවත්වාගෙන යන්නත් බැහැ. පාරිභෝගික ජනතාවට දරාගත හොහැකි මට්ටමක තමයි බේකරි නිෂ්පාදනවල මිල අද වෙනකොට පවතින්නේ. ඒක නිසා අපි තීරණය කළා ඊයේ විදුලි බල වැඩි වුණාට කිසිම වැඩි කිරීමක් කරන්නේ නැහැ. හැබැයි අපි රජයට රතු එළියක් දල්වනවා මේ වෙලාවේ මින් ඉදිරියට ගෑස් හරි ඩීසල් හරි ලයිට් බිල හරි වැඩි වුණොත් අපිට අනිවාර්යෙන් මිල වැඩි කිරීමක් කරන්න සිදු වෙනවා.”













































