මුලතිව් , අලම්පිල් ප්‍රදේශයේ ගෙවත්තක පැරණි වැසිකිළි වළක තිබී කාලතුවක්කු සඳහා යොදා ගන්නා මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව වාර්තා වේ.
දීර්ඝ කාලයක් භාවිතා නොකළ වැසිකිළි වළක් ඉවත් කිරීම සඳහා අදාළ ඉඩම් හිමිකරු සූදානම් වීමේදී ඒ තුළ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය තිබෙන බව දැක පසුව ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කර තිබේ. අනතුරුව මුලතිව් පොලිසිය විසින් අදාළ ස්ථානය පරීක්ෂා කර බලා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්‍ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශ බලධාරීන් විසින් අදාළ වැසිකිළි වළෙහි තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගය ගොඩගෙන තිබේ.
එහි තිබී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 49 ක් , මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් උණ්ඩයක් , මිලිමීටර් 81 වර්ගයේ පැරා උණ්ඩ 13ක් , ටී.56 වර්ගයේ උණ්ඩ 2000 ක් , මිලිමීටර් 60 වර්ගයේ පැරා උණ්ඩයක් , විදේශ රටක නිෂ්පාදිත එම්. 75 වර්ගයේ අත් බෝම්බ 56 ක් , පැරා මෝටාර් සහ ආර්.පි.ජි. වර්ගයේ උණ්ඩ 6 ක් සොයා ගෙන ඇති බව සඳහන් වේ.
සොයා ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයෙන් කොටසක් දිරාපත්ව තිබූ අතර යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලායන එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය වැසිකිළි වළට දමා යන්නට ඇති බව පොලිසිය සැක පල කරයි.
එමෙන්ම මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට නියමිතව තිබූ බව වාර්තා වේ.














































